Friday, September 20, 2024

General line - 0115112241

පැත්ත මාරු කර උසස් පෙළ ලියූවන් ගැන සී.අයි.ඩියෙනුත් විමර්ශනයක්




පදිංචි දිස්ත‍්‍රික්කයෙන් නොව වෙනත් දිස්ත‍්‍රික්කයකින් අයදුම්කරුවන් උසස් පෙළ විභාගයට පෙනී සිටීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන්නැයි විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අයථා මුදල් අය කිරීමක් හෝ අල්ලස් ලබා ගැනීමක් මෙහිදී සිදුව ඇත්දැයි මෙම විමර්ශනයේදී සොයා බැලෙනු ඇති.

මීට අමතරව අදාළ අයදුම්කරුවන් සම්බන්ධයෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් අද (30)පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ විභාග දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව නියෝජනය කරමින් මෙම සාකච්ඡාව සඳහා නියෝජිතයින් සහභාගි වන බවයි.

ඇතැම් අයදුම්කරුවන් බුර්කාවෙන් සැරසී උසස් පෙළ විභාගයට පෙනී සිටීම ද මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා.

සමාජ ජාල වෙබ් අඩවිවල හුවමාරු වන අදහස්වලින් කියවෙන්නේ බුර්කාවෙන් සැරසී සිටින්නන්ගේ අනන්‍යතාව විභාගයේදී නිවැරදිව තහවුරු කළේ දැයි සැක පවතින බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ කුමන ඇඳුමකින් සැරසී සිටිය ද උසස් පෙළ විභාගයට පෙනී සිටි සෑම අයදුම්කරුවෙකුගේම අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනුණු බවයි.

මේ අතර ඉකුත් වසරවලට සාපේක්ෂව මෙවර උසස් පෙළ විභාගයේදී සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී අක‍්‍රමිකතා අඩු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

2014 වසරේදී උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පැමිණිලි 402ක්ද 2015 වසරේදී එම විභාගය සම්බන්ධයෙන් පැමිණිලි 152ක් ද ලැබී තිබුණා. කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් මෙවර ලැබී ඇත්තේ පැමිණිලි 48ක් පමණයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් 2014 වසරේදී ලැබී තිබුණු පැමිණිලි සංඛ්‍යාව 38ක්. 2015 වසරේදී එම විභාගය සම්බන්ධයෙන් පැමිණිලි 22ක් ලැබී තිබුණා.

කෙසේ වෙතත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මෙවර ලැබී ඇත්තේ පැමිණිලි 15ක් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.