Thursday, April 25, 2024

General line - 0115112241

කටුනායක ගොඩනගන සැලසුම ඇමති නිමල් හෙළි කරයි




කටුනායක බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේ පවතින අඩුපාඩු රැසක් දැනටමත් හදුනාගෙන ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ එම අඩුපාඩුවලට පිළියම් යෙදීම සදහා දීර්ඝ කාලීන විසදුම් දැනටමත් සකස් කර ඇති බවයි.

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොල ආසියානු රටවල් අතර ඉතා දුර්වලතම ගුවන් තොටුපොල අතරින් දස වන ස්ථානයට පත්ව ඇති බව නෙත් නිවුස් අද උදැසන අනාවරණ කළා. ඒ, විදෙස් වෙබ් අඩවියක් වාර්තා කළ ප‍්‍රවෘත්තියක් උපුටා දක්වමින්.

අදාළ වෙබ් අඩවියට අනුව නේපාලයේ කත්මණ්ඩු ති‍්‍රබුවාන් අන්තර්ජාතික ගුවන් තොටුපොල එහි පළමු ස්ථානයේ පසුවනවා.

උස්බිකිස්තානයේ ටෂ්කෙන්ට් අන්තර්ජාතික ගුවන් තොටුපොල 2 වන ස්ථානයේ පසුවන අතර ඇෆ්ගනිස්ථානයේ කාබුල් හමීඞ් කර්සායි අන්තර් ජාතික ගුවන් තොටුපොල තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
කටුනායක බණ්ඩාරණායක අන්තර් ජාතික ගුවන් තොටුපොලේද අඩුපාඩු රැසක් පවතින බවයි අදාළ වෙබ් අඩවිය පෙන්වා දී ඇත්තේ.

ගුවන් තොටුපොල පරිශ‍්‍රය දැඩි ලෙස අපවිත‍්‍ර වි තිබෙනවා. වැසිකිළි පද්ධතියද පිරිසිදු මට්ටමක නොමැති බවයි එහි දක්වා ඇත්තේ. කාර්ය මණ්ඩලයේ අකාර්යක්‍ෂමතාවද ඔවුන් පෙන්වා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලගෙන් විමසීමක් කළා.

“දැනට තදබදයක් තිබෙන එක ඇත්ත. නමුත් දැනටමත් අපි මේ තද බදය සහ වැසිකිලි යනාදිය තියෙන තත්ත්වය වැඩි දියුණු කිරීමේ කටයුතු කරගෙන යනවා. සේවකයන්ගේ කාර්යක්ෂමතාවය පිළිබඳවනම් ප්‍රශ්ණයක් නැහැ. මඑ එවැනි පැමිණිල්ලක් ලැබිලා නැහැ. සේවකයෝ අකාර්යක්ෂමයි කියලා. නමුතු එතන තදබදයක් තියෙන එක ඇත්ත”.

කටුනායක බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොල නවීකරණය කිරීම සඳහා ජපන් රජයේ ආධාර යටතේ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.