Sunday, May 5, 2024

General line - 0115112241

චමීරගේ ලොකුම හීනේ!!



දුෂ්මන්ත චමීර කියන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පායපු දිදුළන තරුවක්.පැයට කිලෝමීටර 145+ වේගයෙන් පන්දු යවන තවමත් 24 වන වියේ පසුවන මෙම යෞවනයා ලංකාවේ ඉදිරි ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් බවයි බොහෝ දෙනා පවසන්නේ.පසුගිය ශ්‍රීලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අතරතුර චමීර ආබාධයකට ලක්වුණා.මෙම නිසා ඔහුට මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටිමට සිදුව තිබෙනවා.මේ චමීර සමග කළ පුංචි කතාබහක්..

ඔබේ ක්‍රිකට් දිවිය ආරම්භ වුණේ කොහොමද?
මම පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් වලට ආසයි.මුලින්ම පාසලේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ 6 වසරෙදි.පාසැල හැර යාමෙන් පසුව මම ක්ලබ් ක්‍රිකට් වලට එකතු වුණා.එහි දැක්වූ දක්ෂතාවයන් නිසා මට ශ්‍රීලංකා ඒ කණ්ඩායමට එකතු වෙන්න අවස්ථාව ලැබුණා.ඉන්පසුව තමයි ජාතික කණ්ඩායමට එකතු වුණේ.

ඔබ කැමතිම පන්දු යවන්නන්ව නම් කළොත් ?
බ්‍රෙට් ලී ඒ වගේම ඩේල් ස්ටේන් පන්දු යවනවා බලන්න ගොඩක් ආසයි.

ඔබගේ ආබාධ තත්වය දැන් කොහොමද?
මගේ ආබාධයට කියන්නේ back stress fracture කියලා.සාමාන්‍යයෙන් ඒක පන්දු යවන්නන්ට ඇතිවන ආබාධයක්.
වෛද්‍යවරුන් පවසන ආකාරයට මගේ ආබාධය සුව වෙන්න තවත් මාස දෙකක් පමණ ගතවනවා.

140KMPH වඩා වේගයෙන් පන්දු යැවීම ගැන හිතෙන්නේ කොහොමද?
සතුටුයි.පාසල් කාලයේ නම් මම මේ තරම් වේගයෙන් පන්දු යැව්වේ නැහැ.අවුරුදු 21දි විතර තමයි මම වේගයෙන් පන්දු යවන්න ආරම්භ කළේ.දැනට
මම 145KMPH වඩා වේගයෙන් පන්දු යවනවා.ඒ ගැන සතුටුයි.

ඔබගේ පවුලේ විස්තර ටිකක් කීවොත්?
මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගියි මල්ලියි මමයි.මගේ මල්ලි මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාවක් හදාරනවා.නංගි තවම පාසල් යනවා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකු විදියට ඔබගේ අනාගත සැළසුම් මොනවාද?
මට තවම කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් නැහැ,ඒ නිසා කණ්ඩායමේ ස්ථාවර වීම මගේ හීනයක්.ඒ වගේම ටෙස්ට් කඩුලු විශාල ප්‍රමාණයක් ලබාගන්නත් ලොකු බලාපොරොත්තුවක් තියනවා.

ඔබ කණ්ඩායමේ ළඟින්ම ඇසුරු කරන්නේ කාවද?
එක්කෙනක් කියලා නම් කරන්න නම් අමාරුයි,මොකද ගොඩක් අය ඉන්නවා.සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නන් බොහෝ විට එකට කාලය ගත කරනවා.එම නිසා සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප් වගේ අය ළගින් ඇසුරු කරනවා.පාසල් කාලයේ ඉඳන්ම මගේ හොඳම යාලුවා දසුන් ශානක.අපි දෙන්නම පාසල් ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළා.