Friday, March 29, 2024

General line - 0115112241

මාස 09 ක පොරොන්දුවක් රාජිතගෙන්




වැට් බද්ද ඉහල දැමීමට යෝජනා කෙරෙන සංශෝධිත නව කෙටුම්පත ක්‍රියාත්මක කරන්නේ මාස නමයක කාලයක් සඳහා පමණක් බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ කළුතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය සේවා ක‍්‍රීඩා උත්සවය සඳහා සහභාගි වූ අවස්ථාවේදීයි.

ඉකුත් රජය විසින් නිසි ක්‍රමවේදය අනුගමනය නොකර මහා භාණ්ඩාරගාරයට පිටතින්ද ණය ලබාගෙන තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, එහි ප්‍රතිඵලයක් ලෙසින් රුපියල් ට්‍රිලියන් 1.3 ක ණයක් ගෙවීමට සිය රජයට සිදු වී තිබෙන බවත් සඳහන් කළා.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එම ගිණුම් පිළිබඳව සොයා බැලුවා. එහිදී අනාවරණය වුනා ට්‍රිලියන 1.3 ක් ශ‍්‍රී ලංකා ජනරජය ණය ගෙවීමට තිබෙන බව. එම නිසා තමයි මෙම වැට් බදු ප‍්‍රශ්ණය මතු වුණේ.” එහෙත් එය ආණ්ඩුව මුහුණ දෙන තාවකාලික ගැටලුවක් පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

එම ණය ගෙවීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් බිලියන 4.5 ක්ද ආසියානු සංවර්ධන බැංකුව විසින් ඩොලර් බිලියන 1.5 ක මුදලක්ද ලබාදීමට එකඟ වී ඇතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා, මාස නමයකට පසුව එය සරල කොට සහන ලබාදීමට කටයුතු කරන බවයි පෙන්වා දුන්නේ.

ලබන නොවැම්බර් මස 10 වැනි දින රජයේ අයවැය ලේඛණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.