Monday, September 23, 2024

General line - 0115112241

‘ලංකාවේ පළමු වරට වූ දෙයක් ගැන‘ ගම්මන්පිලගෙන් හෙලිදරව්වක්




2017 අයවැය විසර්ජන පනත් කෙටුම්පතින් ප්‍රධාන අමාත්‍යංශ කිහිපයකට වෙන්කර ඇති මුදල් කප්පාදු කිරීම බරපතල ගැටලූවක් බව ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෙන්වා දුන්නේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ පමණක් වැඩිකර ඇති බවයි.

ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කෙරුණු 2017 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව රජයේ අපේක්ෂිත වියදම රුපියල් බිලියන 1819ක් වනවා.

වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහායි.

එම වියදම රුපියල් කෝටි 28417ක්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උදය ගම්මන්පිල පැවසුවේ මෙය තවදුරටත් සුභසාධන රාජ්‍යක් නොව නව ලිබරල් රාජ්‍යයක් බවයි.

ලංකාව පළමු වරට අධ්‍යාපනයට, කෘෂීකර්මයට, සෞඛ්‍යයට වෙන් කරන ලද මුදල් අඩුකර ඇති බවත් ඔහු පැවසුවා.

ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ලොකුම කර්තව්‍යය රට රටවල සංචාරය කිරීම බවත් ඔවුන්ගේ වැය ශීර්ෂ දැඩි ලෙස ඉහළ දමා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ අවුරුද්දකට වෙන් කරන ලද මුදල් ප්‍රමාණය අදාළ අවුරුද්ද තුළ වියදම් නොවුනොත් ඊළඟ වසරේ වෙන්කරන ලද මුදල් ප්‍රමාණය අඩුවන බවයි.

කෙසේ වෙතත් මෙය තාක්ෂණික වාර්තාවක් පමණක් බවත් අදාළ කරුණු සම්බන්ධයෙන් නිවැරදිම පැහැදිලි කිරිම අය වැය ඉදිරිපත් කරන අවස්ථාවේ පැහැදිලි වනු ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කළා.