Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපති සමග ගැටලුවක් නැහැ – ඒකාබද්ධ විපක්ෂය




ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු ගැටලුවක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය අද (08) ප‍්‍රකාශ කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

“මේක අර්ථ නිරූපණය කරනවා විවිද අය ෂැඩෝ කැබිනට් කියලා. හෙවනැල්ල කියන එකනේ ෂැඩෝ කියන්නේ. කැබිනට් ඇමතිවරයාගේ හෙවනැල්ල වගේ බලාසිටින්න , නොසෙල්වී සොයන්න. අපි අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කරලා තිබෙනවා , ඒ අයගේ වගකීම් පවරලා තිබෙනවා. ඒ ගැන කිසි ගැටළුවක් හිටපු ජනාධිපතිවරයා එක්ක නැහැ. එතුමා එක්ක මාස ගණනාවක් තිස්සේ කතාකරලා තමයි මේ ඉලක්කයට අපි බැස්සේ”.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නෙත් නිවුස් කළ විමසීමකදී ප‍්‍රකාශ කළේ තමන් ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුවෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.

ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමන් පත්කර ඇත්තේ තමන්ගේ කිසිදු අනුමැතියකින් තොරව බවද ඒ මහතා ප‍්‍රකාශ කළා.

මේ අතර මෙම ඡායා කැබිනට්ටුවේ මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ බන්දුල ගුණවර්ධන මහතායි.

තම පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුවට අද (08) ඉදිරිපත් කෙරුණු එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ඒ මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා.