Monday, September 23, 2024

General line - 0115112241

IS ක්‍රමයට මිතුරාව ඝාතනය කරලා




මිතුරෙකු විසින් තවත් මිතුරෙකුව ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධියක් කෑගල්ල පොලිස් වසමෙන් වාර්තා වුණා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ කෑගල්ල හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

ඝාතනය සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයා මෙම තැනැත්තාගෙන් රුපියල් ලක්ෂ දෙකක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. එය යළි ගෙවීම ඔහු විසින් පැහැර හැර ඇති බව විමර්ශනවල දී අනාවරණ වුණා.

කෙසේ වෙතත් පසුගිය 21 වැනි දා දහවල් අදාළ ණය මුදලින් කොටසක් ලබා දීමට ඝාතනය සිදු කළ පුද්ගලයා එකඟතාව පළ කර තිබෙනවා. ඒ අනුව ණය මුදල ලබාදුන් පුද්ගලයා සිය බිරිඳ සමග කෑගල්ල පොලිස් වසමේ ඇපලාව ප‍්‍රදේශයට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම ස්ථානයට ණය මුදල ලබාගත් සැකකරු ද තවත් පුද්ගලයින් හය දෙනෙකු සමග පැමිණ තිබෙනවා. එහි දී අදාළ සැකකරු පළමුව වායු රයිෆලයකින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව විමර්ශනවල දී අනාවරණය වුණා.

එම අවස්ථාවේ දී ණය මුදල ලබාදුන් පුද්ගලයාගේ බිරිඳ අදාළ ස්ථනයෙන් පලා ගොස් තිබෙනවා. පසුව මෙම සැකකරු ණය මුදල ලබාදුන් පුද්ගලයාගේ ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදු කරනු ලැබුවා.

අරණායක ප‍්‍රදේශයේ සිදු වූ මෙම පුද්ගල ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

01-1