Sunday, September 22, 2024

General line - 0115112241

මට්ටක්කුලිය සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු මාට්ටු – වැඩේට කපුවෙකුත් හවුල්




මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ ඉකුත් දා සිදුවූ සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී තිබෙනවා. පොලිසිය පැවසුවේ කුප‍්‍රකට පාතාල කි‍්‍රයාකාරිකයෙකු වන ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 11 දෙනෙකු මෙම අපරාධය සම්බන්ධයෙන් රත්නපුරයේදී අත්අඩංගුවට ගැනුණු බවයි.

ටී 56 ගිනිඅවියක් අපරාධය සඳහා යොදාගෙන ඇතැයි සැක කෙරෙනවා. අපරාධයට පෙර දින 3ක් එම ගිනිඅවිය සඟවා තබා ඇත්තේ දේවාලයක කපු මහතෙකුට අයත් කඩවත ප‍්‍රදේශයේ නිවසකයි. අපරාධය සිදුවූ දින පෙරවරුවේ කපු මහතාගේ බෑණා කෙනෙකු විසින් එය සැකකරුවන්ට ගෙනවිත් දී තිබෙනවා. අපරාධය සිදුකිරීමෙන් පසු ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු 9 දෙනෙකු ත‍්‍රීරෝද රථ 2කින් කපු මහතාගේ නිවසට පැමිණ ඇතැයි ද සඳහන්. අපරාධයට යොදාගත් ටී 56 ගිනිඅවිය නැවත එම නිවසේ සඟවා පිස්තෝල 2ක් ද රැගෙන ඔවුන් පිටව ගොස් තිබෙනවා. ඒ, කපු මහතාට අයත් ත‍්‍රීරෝද රථයකින් සහ කුලියට ගත් තවත් ත‍්‍රීරෝද රථයකින්.

සැකකරුවන්ගේ ඊළඟ නැවතුම වී තිබෙන්නේ ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන්ගේ ඥාතියෙකුට අයත් වැලිවේරියේ පිහිටි නිවසක්. එහිදී ආහාර ද ලබාගෙන ජංගම දුරකථනයක් ද ඉල්ලාගෙන අවමංගල්‍යයකට යන බව පවසා ඔවුන් පිටව ගොස් තිබෙනවා.

පොලිසිය පවසන්නේ තවත් තොරතුරු හෙළිකර ගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් රැඳවුම් නියෝග යටතේ තවදුරටත් ප‍්‍රශ්න කරන බවයි. අදාළ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 3 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.