Sunday, April 28, 2024

General line - 0115112241

ලංකාවෙන් හමුවූ ‘පැහැදිලිම හා භයංකරම‘ උමං ගංගා පද්ධතිය ශ්‍රීපාද අඩවියෙන් මතුවෙයි



රත්නපුර ශ්‍රීපාද අඩවිය ආශ්‍රිත ගිලීමලේ ප්‍රදේශයෙන් සොයා ගැනුණ උමං ගංගාව පිළිබඳ සබරගමුව සහ කොළඹ විශ්වවිද්‍යාල දෙක ඒකාබද්ධව කළ පර්යේෂණවලදී තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

මෙම පර්යේෂණ කටයුතුවලට සම්බන්ධ වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සංචාරක කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය ඉරාඡ් රත්නායක මහතා පෙන්වා දුන්නේ මෙතෙක්‌ ලංකාවෙන් හමුවූ පැහැදිලිම හා භයංකාරම උමං ගංගා පද්ධතිය ලෙස මෙය හැඳින්විය හැකි බවය.

කළු ගඟේ අතු ගංගාවක්‌ වන ඉඳුරුව ගඟේ මෙම උමං ගඟ පිහිටියේය.

කුරුවිට එරත්න ගිලීමලේ යෝජිත රක්‌ෂිතය හෙක්‌ටයාර් 7500 ක්‌ පුරා පැතිර පවතී.

ඉඳුරුව රක්‍ෂිතය යනුවෙන් විරුදාවලිය ලබා ඇති මෙම රක්‍ෂිතය තුළ මෙම ගඟ පිහිටා ඇත.

දුම්පුස්‌ ඇල්ල සොබාවික පිහිනුම් තටාකයත්, ප්‍රාග් ඓතිහාසික ගල් ලෙන් දිවිමකුළුවා, දියකාවා, බුලත් හපයා වැනි මත්ස්‍යයන් හා සත්ත්ව ප්‍රජාවන්ගෙන් ද සමන්විතය.

මෙම ගඟ යම් ස්‌ථානයකදී ගල් තලාවක්‌ යටින් අතුරුදන්ව මීටර් 250 කට තරමක දුරින් නැවත මතුවී ගඟ නිර්මාණය වේ. ගඟ අතුරුදන් වන ස්‌ථානය කොළරොඩු හා වැලි තට්‌ටුවකින් නිර්මාණය වී ඇති අතර ගිලාබැසීම්වලට ලක්‌වීමේ අවදානමක්‌ද පවතී. වැසි දිනවලදී මේ ආශ්‍රිතව ගවේෂණ ආදිය සිදුකිරීම වැළකිය යුතුය. ගල් තලාවක්‌ මතින් ගඟ අතුරුදන් වුවද ඒ ආශ්‍රිතව පිහිටි කඳු තලාවක්‌ යටින් මෙම ගඟ ගලා යන බවට ප්‍රථම වරට මෙම ගවේෂණයේදී සොයාගැනුණ බව ආචාර්ය ඉරාඡ් රත්නායක මහතා පැවසීය.

මීට අමතරව මෙ කඳු වැටිය තුළ ස්‌ථාන කිහිපයක ගිලාබැස තිබෙන බවට ද අනාවරණය කර ගත හැකි විය.

ලංකාවේ වැඩිම උමං ගංගා පද්ධතීන් රැසක්‌ පවතින බවට ප්‍රථම වරට සමනල අඩවිය ආශ්‍රිතයෙන් සොයා ගැනීමට හැකි වූ බව ඉරාඡ් රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන් සම්බන්ධ කර ගනිමින් ඉතා වැදගත්ම පර්යේෂණ කටයුතු ආරම්භ කරන බව ඉරාඡ් රත්නායක මහතා වැඩිදුරත් පෙන්වා දුන්නේය.