Friday, September 20, 2024

General line - 0115112241

වෛද්‍ය නිලධාරීන්ගෙන් ජනපතිට හදිසි ලිපියක්




2017 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයට, වෘත්තීයවේදීන්ට හා රටට සිදුවිය හැකි බරපතළ අගතියක් පිළිබඳ කරුණු දක්වමින්.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ.

රාජ්‍ය අංශයට වන අගතිය, වෘත්තිකයින් රටේ රැඳවීම සහ රාජ්‍ය සේවයට ආකර්ෂණය අධෛර්යමත් කිරීම වැනි කරුණු ඔස්සේ අදාළ ලිපිය යොමුකර තිබෙනවා.

එමෙන්ම එට්කා ගිවිසුමට අදාළ පසුබිම සකස් කිරීම, මූලික සෞඛ්‍ය ප‍්‍රතිපත්ති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද මෙම ලිපියේ කරුණු ඇතුළත්. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පුද්ගලීකරණයට අවශ්‍ය මූලික පියවර අනුගමනය කිරීම පිළිබඳව ද ලිපිය මගින් කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හදිසි අවධානය යොමුවිය යුතු බවත්, අයවැය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව ලබන 24 වෙනිදා හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.