Friday, September 20, 2024

General line - 0115112241

රවිරාජ් ඝාතන නඩුවේ විත්තිකරුවන් ගැන හෙළි කරයි




හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් නඩුව විභාග කිරීම කොළඹ මහාධිකරණයේ දී අද (22) ආරම්භ කෙරුණා.

ඒ, විනිසුරු මනිලාල් වෛද්‍යතිලක සහ හත් දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඉදිරියේයි. ජූරි සභාවේ සභිකයින් සියලු දෙනා උපාධිධාරීන් වනවා. ඔවුන්ගෙන් හය දෙනෙකු කාන්තාවන් වීම ද විශේෂත්වයක්.

නඩුවේ කරුණු පිළිබඳ මූලික විග‍්‍රහයක් කරමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙහි විත්තිකරුවන් අතර නාවික හමුදාවට සහ පොලිසියට සම්බන්ධ අය ද සිටින බවයි. ඝාතනය සඳහා සැකකරුවන් පැමිණ ඇති යතුරුපැදිය පදවා ඇති තැනැත්තා රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර සිටින බව ද ඔහු හිටපු පොලිස් නිලධාරියෙකු බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.

ඝාතනයට යොදා ගත් බව කියන ගිනි අවිය ගිරිතලේ හමුදා කඳවුරෙන් එල්.ටී.ටී.ඊ. කරුණා පාර්ශවයට ලබාදුන් එකක් බව ද පරීක්ෂණවලින් හෙලි වී තිබෙන බවයි රජයේ නීතිඥවරයා කියා සිටියේ්.

මෙම නඩුවේ නම් කර ඇති මුළු විත්තිකරුවන් ගණන හය දෙනෙක්. කෙසේ වෙතත් නඩුව සඳහා පෙනී සිටින්නේ ඔවුන්ගෙන් තුන්දෙනෙකු පමණයි. අනෙත් විත්තිකරුවන් තුන්දෙනා එල්.ටී.ටී.ඊ. කරුණා පාර්ශවයේ සාමාජිකයින් බවට විශ්වාස කෙරෙන අතර ඔවුන් මේ වනවිට රටින් බැහැරව අධිකරණය මඟහරිමින් සිටින බවට සැක කෙරෙනවා. නඩුව හෙට (23) නැවත කැඳවීමට නියමිතයි.