Friday, September 20, 2024

General line - 0115112241

අතකොටා ඇතුළු 18කට මරණ දඬුවම




දැරණියගල නූරි වතුයායේ අධිකාරි නිහාල් පෙරේරා මහතාගේ ඝාතනයට වරදකරු වූ විත්තිකරුවන් 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු විත්තිකරුවන් 18 දෙනෙකුටයි.

වතු අධිකාරීවරයාගේ ඝාතනයට පෙර සිටම අවිස්සාවේල්ල හා දැරණියගල යන ප්‍රදේශවල අත කොටා හෙවත් අනිල් චම්පික නමැත්තා විසින් පතුරුවා හරින ලද භීෂණය පිළිබඳව නෙත්. එෆ්. එම් බැලුම්ගල දැඩිව තොරතුරු අනාවරණ කළා. වතුඅධිකාරීවරයාගේ ඝාතනයෙන් පසුවද අතකොටා සහ ඔහුගේ සහචරයන් විසින් ප්‍රදේශයපුරා ගෙනගිය භීෂණකාරී තත්ත්වය නෙත් එෆ් එම් බැලුම්ගල ඔස්සේ හෙළිකරනු ලැබුවා.

ඔහුට එරෙහිව තිබූ තවත් චෝදනා පිළිබඳව පැවති නඩු විභාගවලදී සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම , පහරදීම සහ දේපළහානී සිදුකිරීම සම්බන්ධයෙන්ද අප තොරතුරු වාර්තාකළා. අතකොටා හෙවත් අනිල් චම්පිකගේ මැර ක්‍රියාවලට එරෙහිව බොහෝ පිරිසක් නිර්නාමිකවද නෙත්. එෆ්. එම් බැලුම්ගල වැඩසටහන්වලට සජීවීව කතාකොට අදහස් දැක්වූවා.

ඔහුට රැකවරණය සැපයූ ඇතැම් පුද්ගලයන් සහ ආයතන පිළිබඳවද බැලුම්ගල කණ්ඩායම නිබයව තොරතුරු වාර්තාකළා. මෙම ඝාතනය සහ භීෂණයේ පාර්ශ්‍රවකරුවන් අත්අඩංගුවට ගැනීමටද එම වැඩසටහන් දැඩි බලපෑමක් වුණා.

නූරි වතුයායේ වතුඅධිකාරීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 21 දෙනෙකුට චෝදනා එල්ල වී තිබූ අතර ඉන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටයි මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න නියෝග කළේ.

සෙසු විත්තිකරුවන් 18 දෙනාටයි මරණ දඬුවම හිමිවුනේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ එක් ඝාතනයක් සම්බන්ධයෙන් වැඩිම පිරිසකට එකවර මරණ දණ්ඩනය හිමිවූ පළමු අවස්ථාව මෙය වනවා.