Thursday, September 19, 2024

General line - 0115112241

අද රෑ සිට බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ




රථ වාහන වැරදි 7 ක් සදහා වන දඩ මුදල රුපියල් විසි පන්දහසක් දක්වා වැඩි කිරීමට එරෙහිව පෞද්ගලික බස් සංගම් 34 ක් ඒකාබද්ධව සිදුකරන වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරෙනවා.

අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමය, සමස්‌ත ලංකා බස්‌ හිමියන්ගේ සමිති සම්මේලනය, දකුණු පළාත් බස්‌ හිමි සංගමය ඇතුළු බස්‌ සමාගම් මෙම වර්ජනයට දායක වන බව අන්තර් පළාත් පෞද්ගලික බස්‌ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළා.

එමෙන්ම සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ සාමාජික අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ අන්තර් පළාත් ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමය සහ පාසල් වෑන් රථ රියදුරන්ගේ සංගමයද මෙම වර්ජනයට එක්වන බවයි.

ප්‍රවාහන ඇමැතිවරයා බස්‌ කර්මාන්තකරුවන් ගැන සිතා යම් ප්‍රකාශයක්‌ නොකළහොත් වර්ජනයකට යන බව අවධාරණය කරන ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න ප්‍රවාහන ඇමැතිවරයා පෞද්ගලික බස්‌කරුවන්ව වර්ජනයකට තල්ලු කරන බවටද චෝදනා එල්ල කරනවා.

මේ අතර දුම්රිය වෘත්තීය සමිති 50 ක පමණ සේවකයන් ද අද (01 ) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම, අවිධිමත් සේවක බඳවා ගැනීම, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක්‌ බවට පත්කිරීම, විශ්‍රාම වැටුප අහෝසිය යන කාරණාවලට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි වෘත්තීය සමිති සඳහන් කළේ.

ඒ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. සී. ආරියරත්න මහතා සමඟ පෙරේදා (29 ) එම වෘත්තීය සමිති විශේෂ සාකච්ඡාවක්‌ පැවැත්වුවද එය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.