Thursday, September 19, 2024

General line - 0115112241

ලංගම බස් 26කට ප‍්‍රහාර – රියදුරන් 4කට තුවාල




බස් , ත‍්‍රීරෝද රථ සහ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයට සම්බන්ධ සංගම් කිහිපයක් කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව පීඩාවට පත්වුණා. කොළඹ කොටුව ප‍්‍රදේශයේදී මගීන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත පළ කළ අදහස් පහතින් අහන්න.

මේ අතර මගී ජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම සඳහා වෙනදාට වඩා වැඩි බස් රථ සංඛ්‍යාවක් ධාවනය කළ බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන පැවසුවේ.

සාමාන්‍යයෙන් බස් රථ 5300ක් පමණ ප්‍රමාණයක් ධාවනය කරන බවත් අද බස් රථ 6100කට අධික ප්‍රමාණයක් ධාවනය කරවීමට හැකි වුණු බවත් ඒ සමගම බස් රථයක ගමන්වාර ප්‍රමාණයත් වැඩිකළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ප‍්‍රදේශ කිහිපයකදී ලංගම බස් රථ 26කට ප‍්‍රහාර එල්ල වී ඇති අතර රියදුරන් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද පස්වරුවේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට තෙල්වත්ත ප‍්‍රදේශයේදී එල්ල වූ ගල් ප‍්‍රහාරයකින් එහි රියදුරා තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා ද ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රමාණවත් පරිදි බස් රථ යොදවා තිබෙනවා.
මහරගම බස් නැවතුම්පොළේ අධීක්ෂණ නිලධාරී ඉන්ද්‍රසේන සෙනරත් පැවසුවේ මහරගම නගරයට පැමිණි ජනතාවට ශ්‍රීලංගම බස් රථ යොදාගනිමින් උපරිම සේවාවක් කළ බවයි.

බස් වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මක වන්නේ නම් ඊට මුහුණදීම සඳහා විශේෂ දුම්රියන් යෙදවීමට කටයුතු කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.