Friday, September 20, 2024

General line - 0115112241

‘යුද්ධයෙන් පස්සේ දෙමළ ජනතාවගේ හඬ නොනැගෙයි කියලා හිතන්න එපා’




ජාත්‍යන්තරය සමග එළඹ ඇති ගිවිසුම්වලට අනුව දෙමළ ජනතාව වෙනුවෙන් පොරොන්දු වූ කාර්යන් ආණ්ඩුව නොපමාව ඉටුකළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් පවසනවා.

යාපනය පුස්තකාලයේදී ඊයේ පැවති දෙමළ ජනතා සභාවේ රැස්වීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මහඇමතිවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ “2009 දී බෑන්කී මූන් ට එවකට හිටිය ජනාධිපතිතුමා පවතින ආණ්ඩුව දෙමළ ජනතාවට ඉදිරියේදී කරන්න යන්නේ මොකද්ද කියලා පෙන්වාදී තියනවා. එහෙම පොරොන්දු වෙච්ච දේවල් වත්මන් ආණ්ඩුව හෝ අද වෙනකම් කරල තියෙනවද? කියල පරීක්ෂා කරල බලන්න ඕන.

ජිනීවාවලදීත් ගිවිසුමක් අත්සන් කරල තියනවා. ඒ ගිවිසුමේ සඳහන් දේ අද වෙන කොට දෙමළ ජනතාව වෙනුවෙන් කරල තියනවාද? කියල පරීක්ෂා කරල බලන්න ඕන. ජිනීවා ගිවිසුම අනුව කරුණු කාරණා විස්සකට වැඩි ප්‍රමාණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියා. ගිවිසුම් අනුව දෙමළ ජනතාව වෙනුවෙන් කළ යුතු යුතුකමක් තියෙනවා. අද වෙනකම් ඒ දේ කළේ නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම යුතුකම් ඉටු කළා නම් මේ රටේ සාමයෙන් සමාදානයෙන් ඉදිරියට යන්න පුලුවන් කියල මම කියන්න කැමතියි. යුද්ධයෙන් පසුව දෙමළ ජනතාවගේ හඬක් නොනැගෙනු ඇතැයි මේ රටේ විශාල පිරිසක් සිතනවා. නමුත් දෙමළ ජනතා සභාව පිහිටුවීමෙන් පසුව එම තත්ත්වය වෙනස් වී තිබෙනවා.” යනුවෙනි.