Friday, September 20, 2024

General line - 0115112241

සුපිරි ඇමති යෝජනාවට කැබිනට් මණ්ඩලයෙදි වෙච්ච දේ




විශේෂ විධිවිධාන පනත ඔස්සේ සුපිරි බලතල සහිත ඇමැතිධූරයක් ඇති කිරීම සඳහා වූ යෝජනාව ඉදිරියේ දී සාකච්ඡාවට බඳුන් වුවත් එහි වරදක් නොදකින බව අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා.

ඇමැතිවරයා එසේ පැවසුවේ අද (21) බොරැල්ල වනාතමුල්ල සහස්‍රපුර දී ආරම්භ වූ “ සමෘද්ධි පොළ”  විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

විශේෂ විධි විධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙක් ‍යටතට ගෙන ඒමේ සූදානමක් නැතැයි කී ඇමැතිවරයා කෙසේ වුවත් විශේෂ විධිවිධාන පනත පිළිබඳව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකළ බවද සඳහන් කළා.

මාධ්‍යවේදීන් හමුවේ ඇමැතිවරයා මෙසේද පැවසුවා,

“විශේෂ විධිවිධාන පනත හරහා ජනාධිපතිවරයාගේ බලතල ඇමැතිවරයෙකුට දෙන්න හදනවා කියලා එහෙම යෝජනාවක් නැහැ. ඒත් සංවර්ධන ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මත, යම් යම් දෙපාර්තමේන්තු, ආයතන හරහා කෙරෙන වැඩ සුමානයක්, දෙකක් ඇතුලත ඉක්මනින් කරවගන්න පුළුවන් වෙන විදිහේ ආයතනයක් හදලා ඒක ආමාත්‍යවරයෙකු යටතට පත් කිරීමේ යෝජනාවක් ඇවිත් තිබුනා. ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරේ නැහැ. මොකද මේ ගැන පලාත් සභා සමඟ කථා කළ යුතුයි. පලාත් සභා බලතල ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට බලපානවා, ඒ වගේ සුපිරි ඇමැතිධූරයක් හදන්න ගියොත්. 

ඒක අනුමත නොවුනා කියන්නේ අපි කැමැති නැහැ කියන එකනේ. ඒක අපි කල් තිබ්බා. නැවත ඒ ගැන සාකච්ඡාවට බඳුන් වුනත් එහි වරදක් නැහැ. විදේශ ආයෝජකයන් ආවහම අවශ්‍ය අවසර පත්‍ර‍ ගන්න ඔහුට අවුරුද්දක් විතර යනවා. ඒ වගේම සමහර අයට පගාවත් දෙන්න වෙනවා. එවැනි තත්වයක් තුළ ආයෝජකයො ගෙන්වා ගැනීමේ අපහසුතාවයක් තියෙනවා.

චීනයේ මේ තත්වය මග හරින්න “වන් ස්ටොප් ෂොප් ”  (One Stop shop) කියලා ආයතනයක් හැදුවා. ඒ ආයතනයට ගියාම සියළුම අවසර සුමානයක් ඇතුලත දෙනවා. ඊට පස්සේ එයා ව්‍යාපාරේ පටන් ගන්නවා. ඒ නිසා ආයෝජකයන්ට වෙන එවැනි අතිප්‍ර‍මාදයන් වලක්වා ගත යුතුයි. පරිසර වාර්තා, නාගරික සංවර්ධන අධිකාරියෙන් ගත යුතු වාර්තා වගේ නොයෙකුත් වාර්තා ගන්න ගියාම තියෙන ප්‍ර‍මාදයන් වැළැක්විය යුතුයි. ඒ පිළිබඳ යෝජනාවක් තමයි ඒ යෝජනාවෙන් ආවේ. නමුත් අපි ඒක පැත්තකට තිබ්බා.”