Friday, September 20, 2024

General line - 0115112241

ජනමාධ්‍ය ලේකම්ට එරෙහිව ආණ්‌ඩු පක්‍ෂ පසු පෙළින් ලිපියක්




කීප අවස්‌ථාවකදීම ජාතික රජයේ ක්‍රමවේදයන් අභියෝගයට ලක්‌ කළ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ආණ්‌ඩු පක්‍ෂ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක්‌ ජනාධිපතිට සහ අගමැතිට භාරදීමට තීරණය කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.

තම මැතිවරණ කොට්‌ඨාසවල ජනතා සේවයට සක්‍රීයව දායක වීමට කුලී පදනම මත වාහන ගැනීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබාදී තිබියදීත් ඊට එරෙහිව කටයුතු කිරීමෙන් ජනමාධ්‍ය ලේකම්වරයා කැබිනට්‌ තීරණ ද අභියෝගයට ලක්‌ කර ඇතැයි මන්ත්‍රීවරුන් මෙම ලිපියෙන් කරුණු දැක්‌වීමට නියමිතයි.

කුලියට මන්ත්‍රීවරුන් සඳහා ලබා ගන්නා වාහන නැවතත් රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකස්‌ කර තිබියදීත් අමාත්‍යාංශ ලේකම්වරයා එය පිළිනොගැනීම දැඩි ගැටලුවක්‌ බව මෙම ලිපියෙන් පෙන්වා දෙන බව ලිපියට අත්සන් තැබූ මන්ත්‍රීවරයෙක්‌ දිවයින පුවත්පතට සඳහන් කර තිබෙනවා.

කැබිනට්‌ මණ්‌ඩල තීරණයක්‌ බල ගන්වන ලෙස විෂයභාර ඇමැතිවරයා දැනුම්දී තිබියදීත් ලේකම්වරයා එය ක්‍රියාත්මක නොකරන්නේ කුමන පදනමකින් දැයි ඔවුහු ප්‍රශ්න කරන බවයි මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව නිමල් බෝපගේගේ ක්‍රියාකලාපය දැඩි ලෙස අභියෝගයට ලක්‌ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ලිපිය භාරදීමට ආණ්‌ඩු පක්‍ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් තීරණය කර තිබෙනවා.