Saturday, September 21, 2024

General line - 0115112241

යුද හමුදාවට චෝදනා එල්ල කළැයි හිටපු ජනාධිපතිනියගේ කතාවට මහින්ද රාජපක්ෂ කළ නිවේදනය




ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනා එල්ල වන අයුරින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

යුද්ධය හේතුවෙන් උතුරේ වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරාකෑමකට ලක් කරමින් සිටි බවට හිටපු ජනාධිපතිනිය ඉකුත් දා විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කළ කතාව කාගේත් අවධානයට යොමුවිය යුතු බවයි මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ. 

එම ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයට පෙර මෙරට සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතාමතා නඟන ලද අවලාදයක් බව ද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

මෙහිදී සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් මෙරට සන්නද්ධ හමුදාවලට නඟන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාව ද ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කිරීමක් බවද මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.