Friday, September 20, 2024

General line - 0115112241

විශාල කළුගලක් සහිත පස් කන්දට යට වූ පුද්ගලයා සොයන්න කමාන්ඩෝ බලකාය කැඳවයි (UPDATE)




ලග්ගල කළු ගඟ ව්‍යාපෘතියේ විශාල කළු ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිරවී සිටි පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු මුදාගෙන තිබෙනවා.

එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ බේරාගත් එම පුද්ගලයින් දෙදෙනා මහියංගණය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මාතලේ ලග්ගල කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදු කළ ස්ථානයක මෙම විශාල කළුගල සහිත පස් කන්ද කඩා වැටීම සිදු වුණේ අද (26) උදෑසනයි.

මෙම අනතුරෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලැබූ පුද්ගලයෙකු මීට පෙර ද රෝහල්ගත කෙරුණා.

පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට යුද හමුදා කමාන්ඩෝ බලකාය ද එක්ව සිටිනවා.  

අතුරුදහන් වූ එක් අයෙකු සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

------------------------------------------

කැණීම් කරද්දී පස් කන්දක් කඩා වැටෙයි - අයෙක් මරුට - තවත් අයෙක් අතුරුදහන්

(26-02-2017 10:18)

මාතලේ ලග්ගල කළුගඟ ව්‍යාපෘතියේ කැණීම් සිදු කළ බැකෝ යන්ත‍්‍රයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ බැකෝ යන්ත‍්‍රය හැසිරවූ පුද්ගලයෙකු බවයි.

පස් කන්දට යට වී තවත් අයෙකු අතුරුදන් වී ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

සිද්ධියෙන් තුවාල ලැබූ ලොරි රථ රියදුරෙකු රෝහල්ගත කර තිබෙනවා. 

අඩි 300 ක් පමණ උසැති මෙම කන්දේ කොටසක් අද පෙරවරුවේ 9.30 ට පමණ නාය ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදු වුණා.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර වෛද්‍ය කණ්ඩායමක්ද අදාළ ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා. 

අතුරුදහන් වී ඇති පුද්ගලයා මතට අඩි පහක් පමණ උසට පස් කඩා වැටි ඇති බවයි වාර්තා වෙන්නේ.