Friday, September 20, 2024

General line - 0115112241

දුම්රිය ලොක්කෙක් දුරකතන බිලෙන් මුදල් වංචා කරලා




දුරකතන බිල්පත් ගෙවීමට යැයි පවසා වංචනික ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබාගත් ඉහළ පෙලේ නිලධාරියෙකු සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ නිසි පරිදි සිදු නොවන බවට චෝදනා එල්ල වනවා.

මෙලෙස මුදල් වංචා කර ඇත්තේ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙකු බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණ කළේ. 

සිය දුරකතන බිල්පත් සඳහා වැටුපට ලබාදෙන දීමනාවට අමතරව වවුචර්පත් මගින් ද අදාළ නිලධාරියා මාසිකව මුදල් ලබා ගනිමින් මෙම වංචාව සිදුකර තිබෙනවා.

ඒ අනුව 2015 වසරේ සිට ඔහු දුරකතන බිල්පත් සඳහා රුපියල් තුන්ලක්ෂ අසූ දහසකට අධික මුදලක් ලබාගෙන ඇති බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දුම්රිය බලධාරීන්ගේ මැදිහත්වීමෙන් පරීක්ෂණයක් ආරම්භ කෙරුණ ද චෝදනාවට ලක්ව සිටින නිලධාරියා ආරක්ෂා කිරීමට එක් පාර්ශවයක් උත්සහ දරණ බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට හෝ සේවකයෙකුට කිසියම් චෝදනාවක් එල්ල වුවහොත් ඒ පිළිබඳ පරීක්ෂණ අවසන් වන තුරු චෝදනාවට ලක්වන පුද්ගලයා වැඩ තහනමකට ලක් වනවා. 

එහෙත් මෙම නිලධාරියා වැඩ තහනමකට ලක් නොකිරීම ද ගැටළු සහගත බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සෙසු නිලධාරීන් පවසන්නේ. වංචා කර ඇති මුදල චෝදනාවට ලක්ව සිටින නිලධාරියාගෙන් අයකර ගෙන පරීක්ෂණය යට ගැසීමේ උත්සහයක් පවතින බවද වැඩිදුරටත් අනාවරණ කෙරුණා.