Friday, September 20, 2024

General line - 0115112241

නඩු භාණ්ඩ ගෙදර ගෙන ගිය පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට




අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ තේක්ක කදන් 16 ක් හොර රහසේ රැගෙන ගිය බව කියන පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඒ, හලාවත කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුවයි. 

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ දංකොටුව පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්. 

දංකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තේක්ක කදන් තොගයක් ඊයේ දිනයේ මාරවිල දිසා අධිකරණයට රැගෙන යාමට නියමිතව තිබුණා.

එහෙත් සැකකාර පොලිස් සැරයන්වරයා එම දැව තොගය අධිකරණයට භාර නොදී වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවට හලාවත කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයාට තොරතුරක් ලැබී තිබෙනවා. 

ඒ අනුව පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරු සහ අදාළ දැව තොගය අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

දැව තොගය ප‍්‍රවාහනය කළ ලොරි රථය සහ එය පැදවූ රියදුරාද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මාන්කුලම් පොලිස් ස්ථාන භූමියේ ගබඩා කර තිබූ අත්අඩංගුවට ගන්නා ලද දැව තොගයක් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිට කිරීමේ සිද්ධියකට සම්බන්ධ එම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්‍ෂකවරයෙකු පොලිස් විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නියෝගයකට අනුවයි. 

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගැණුනා. 

එම සැකකරුවන් දෙදෙනා අද මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි වව්නියාව නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප‍්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.