Thursday, May 2, 2024

General line - 0115112241

ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවට සාධාරණය ලැබේ




විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව වසර 15ක් එකම නිවසක සේවය කරමින් එම මුලු කාලය පුරාම වැටුප් නොළද ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් පිළිබඳව සෞදි අරාබියෙන් වාර්තා වුණා.

1986.11.11 දින උපත ලැබූ මඩකලපුව, එරාවූර්හි පදිංචි ඥානප‍්‍රකාශම් නිශාන්තිනි නැමැති ඇය ව්‍යාජ තොරතුරු සපයමින් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව, වයස අවුරුදු 14දී, එනම් 2000 වසරේදී ගෘහ සේවිකාවක් වශයෙන් සෞදි අරාබියේ රැකියාවට ගොස් තිබෙනවා.

ඇය ඉකුත් 2015 වර්ෂයේදී සෞදි තානාපති කාර්යාලයේ කාන්තා සුභසාධන මධ්‍යස්ථානයට ගොස් මේ බව පවසමින් උදවු ඉල්ලා ඇති අතර, මේ පිළිබඳව තොරතුරු දැනගත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ සෞදි තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක ඉන්දික තිලකරත්නට ලබාදුන් උපදෙස් මත කි‍්‍රයාත්මක වී සෞදියේ කම්කරු අමාත්‍යංශයට මේ පිලිබඳව පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව ඇයට හිමි හිඟ වැටුප ලෙස සෞදි රියාල් 123400 ක් (රුපියල් 4,936,000) ක් ලබාදීමට එරට කම්කරු අමාත්‍යංශය කටයුතු කොට තිබෙනවා.

මෙම මුදල ඉතිහාසයේ ගෘහ සේවිකාවකට ලබාදුන් ඉහළම හිඟ වැටුප් ප‍්‍රමාණය වන අතර, ඇය සේවය කළ නිවසේ හිමිකරුට එරෙහිව එරට රජය විසින් මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග ගෙන ඇති බවද සඳහන්. 

මේ වන විට ඥානප‍්‍රකාශම් නිශාන්තිනි මෙනවිය සෞදි තානාපති කාර්යාලයේ සුරක්‍ෂා නිවාසයේ රැඳී සිටින අතර, අමාත්‍යවරියගේ උපදෙස් පරිදි ඇයව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙමින් පවතිනවා.