Thursday, May 2, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් පොලිසියට හා ඇමතිවරුන්ට උපදෙසක්




ජාතීන් අතර අසමගිය වර්ධනය වන ආකාරයෙන් ප‍්‍රකාශ නිකුත් නොකිරීමට පොලිසිය මෙන්ම අමාත්‍යවරුන් ද වගබලා ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් පිළිගත හැකි තොරතුරු ලැබුණද ඒවා ජනතාව හමුවට ඉදිරිපත් කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි.

කොළඹ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

ඉකුත් සමයේ දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පිහිටි ආගමික සිද්ධස්ථානවලට ප‍්‍රහාර එල්ල වුණා. එමෙන්ම වෙළඳ ව්‍යාපාරික ස්ථාන රැසකට ද ප‍්‍රහාර එල්ල වූ බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් අමාත්‍යවරුන් මෙන්ම පොලිසිය ද විවිධ අදහස් පල කළා. එම ඇතැම් අදහස් ජාතිවාදී වූ බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.

මේ අතර ඉකුත් දා අමාත්‍ය ජෝන් අමරතුංග විසින් බැණ තර්ජනය කළ ප‍්‍රාදේශීය මාධ්‍යවේදීයා ද හිටපු ජනාධිපතිවරයා හමු වී තිබෙනවා.

අමාත්‍යවරුන් සිය ගෞරවය ආරක්ෂා වන පරිදි හැසිරීම වැදගත් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ.