Friday, September 20, 2024

General line - 0115112241

සුරා බදු පනත නිසා එජාප මන්ත්‍රී රැස්වීම උණුසුම්




එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වුණා. 

ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. 

සුරාබදු  පනත සම්බන්ධයෙන් මෙහිදි දීර්ග ලෙස සාකච්ඡා කර තිඛෙනවා. 

ස්කාගාර සඳහා රුපියල් මිලියන 100ක වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් සහ මත්පැන්, බෝතල් කිරීමේදී අදාළ ආයතනවලට රුපියල් මිලියන 50ක බලපත්‍ර ගාස්තුවක් ගෙවන ලෙසට අමාත්‍ය රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටියදී යෝජනාවක් ඉදිරිපත්ව තිබුණා.

කෙසේවෙතත් ඊට එරෙහිව ස්කාගාර හිමියන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව වාර්ෂික බලපත්‍ර ගාස්තුව සංශෝධනය කෙරුණා. 

එහෙත් ඊට අදාළ ගැසට් නිවේදනය බලාත්මක වී නැහැ. කිසියම් ආයතනයක් විදේශිය මත්පැන් අළෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගෙන තිබේනම් අදාළ ආයතනයට දේශීය මත්පැන් අළෙවි කිරිමේ හැකියාවද පවතිනවා. 

එහෙත් රවී කරුණානායක මුදල් අමාතයවරයාව සිටියදි ඒ සම්බන්ධයෙන් තවත් සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබුවා. 
කිසියම් සුපිරි වෙළඳ සැළක් හෝ ආයතනයක් එවැනි බලපත්‍රයක් ලබා ගෙන ඇත්නම්  දේශීය මත්පැන් අලෙවි කිරීමට ද ඔවුන් වෙනමම බලපත්‍රයක් ලබා ගත යුතුයි. 

එය තවදුරටත් සංශෝධනය කර හෙට දිනයේදී පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ යුතු බවටයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ තීරණය කළේ. 

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වුණා. නීති විරෝධී මත්පැන් සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට දැඩි ලෙස හානි කර බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙහි සඳහන් කළේ.

ඊට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යංශය සහ සුරා බදු දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කලා. 

මේ අතර, අතුරුදන් වූවන්ගේ කාර්යාලය සම්බන්ධයෙන් අද දිනයේදි පාර්ලමේන්තුවේදී සාකච්ඡා කිරීමට නියමිතයි. 

ඊයේ දිනයේ පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු බහුතරයක් සහභාගී වී නැහැ. 

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීමට සහභාගී වූ බවයි. 

එහෙත් මන්ත්‍රිවරු සහ ඇමතිවරු නොමැති වීම නිසා එය සිදු කළ නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.