Friday, September 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව උණුසුම් - ඇමතිවරයෙක් එනතෙක් සභාව නවතයි




ඩෙංගු සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක් හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ අද (20) උණුසුම් වූ අතර ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10 ට ආරම්භ වුණා.

ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පැමිණීමට නියමිත බව කථානායකවරයා සභාවට දැනුම් දුන් අතර ඒ අනුව යළි පස්වරු 2.35ට පාර්ලිමේන්තුව කල් තැබුණා.

සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණි පසු පාර්ලිමේන්තුව යළි ආරම්භ වන බවයි කථානායකවරයා එහිදී දන්වා සිටියේ.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන නැගූ ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයකින් පසුවයි මෙම උණුසුම් තත්ත්වය ඇති වුණේ.

අදාළ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දක්වමින් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කළේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් හෙට (21) දිනයේ ප‍්‍රකාශයක් සිදු කරන බවයි.

එහෙත් මෙය හදිසි තත්ත්වයක් බැවින් ආණ්ඩුවේ ස්ථාවරය වහා ප‍්‍රකාශ කළ යුතු බව එහිදී නැගි සිටි දිනේෂ් ගුණවර්ධන හා අනුර කුමාර දිසානායක යන  මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළා. ඒ අනුව ඇති වූ උණුසුම් තත්ත්වය සැළකිල්ලට ගනිමිනුයි පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවීමට කතානායකවරයා තීරණය කළේ.