Sunday, September 22, 2024

General line - 0115112241

පොලිස් නිලධාරියාව කඩුවෙන් කපලා රියදුරු බලපත්‍රය අරන් ගිහින්




රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුව කඩුවකින් කපා කොටා තුවාල සිදු කළ සිද්ධියක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඊයේ (02) රාත්‍රියේ කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු තවත් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙදෙනෙකු සමග කහටගස්දිගිලිය නගරයේ රාජකාරී කටයුතු සිදු කරමින් සිට තිබෙනවා.

මෙම අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අතරින් පිටුපස ගමන් කළ අයෙකුගේ ආරක්ෂිත හිසුවැසුම නොමැති බව දුටු අදාළ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරියා ඔවුන් නවතා අවවාද කර දඩ පත්‍රිකාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.

එහිදී අවවාද පිළිනොගත් යතුරුපැදිකරුවන් පොලිස් නිලධාරියා සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබූ අතර පසුව එතනින් පිටව ගොස් තවත් පිරිසක් සමග පැමිණ මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ. සැකකරුවන් විසින් පොලිස් නිලධාරියා සතුව තිබූ අදාළ රියදුරු බලපත්‍රයද කොල්ලකා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා අනුරාධපුර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු තව දුරටත් ප්‍රතිකාර ලබනවා.

සිද්ධියට සැක පිට තුන් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.