Sunday, September 22, 2024

General line - 0115112241

‌කන්දේ විහාරයේ පිං කැට 37ට සීල් තිබ්බ හේතුව කියයි




අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ පිං කැට 37කට මුද්‍රා තැබීම සිදු කළේ නීත්‍යානුකූල ක‍්‍රමවේදයකට අනුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර පවසනවා.

මෙම පිංකැටවලට මුද්‍රා තබා ඇත්තේ මහා භාරකාර මණ්ඩලය විසින්. හදිසියේ මෙවැනි තීරණයක් ගත්තේ මන්දැයි නෙත් නිවුස් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදරගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙම විහාරස්ථානය පමණක් නොව ශ්‍රී දළදා මාළිගාව, රුහුණු කතරගම දේවාලය, රත්නපුර සමන් දේවාලය ආදී ස්ථාන රැසක් සිය ඝෘජු අධීක්ෂණයට අයත් බවයි.  මෙය රාජකාරී කටයුත්තක් බවත් කන්දේ විහාරය 2016 වසරේ අගෝස්තු මාසයේ මෙම අධීක්ෂණ කටයුතු සිදු වී ඇති බවත් සඳහන් කළා. දැනට වාර 07 කදී පමණ පඬුරු පෙට්ටි මුද්‍රා තැබීම සිදුව ඇති බවත් සඳහන් කළා.

දඹුල්ල රජ මහා විහාරයේ ආදායම් සම්බන්ධයෙන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් දා කළ ප‍්‍රකාශයක් සමග මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතු වුණා. ඒ අනුව වර්තමානයේ මතුව ඇති කතා බහ සම්බන්ධයෙන් නෙත් නිවුස් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී, ශාස්ත‍්‍රපති පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් ද මේ පිළිබඳව විමසා සිටියා. 

මෙය සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලිය බවත් අදාළ විහාරස්ථානයේ විශේෂ කටයුත්තක් ඇත්නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ නියමය පරිදි එම මුදල් යොදවා ගැනීමට හැකියාව ඇති බවත් සඳහන් කළා.