Sunday, September 22, 2024

General line - 0115112241

ලැබුණු පත්වීම ඉවතලා කොළඹ පැමිණි නිර්මලා ගමම හඬවමින් අවසන් ගමන් යයි (PHOTOS)




අතට ලැබුන ග්‍රාම නිලධාරි පත්වීම ඉවතලා විශ්වවිද්‍යාලයට ගිය නිර්මලා චේතනි අබේකෝන් (27) දහස් ගනනක් පිරිස් හඬවා අද (03) අවසන් ගමන් ගොස් තිබෙනවා.

වසංගතයක් වු මාරාන්තික ඩෙංගු රෝගයට ගොදුරුවී ඇය අකාලයේ මිලින නොවන්නට මේ රටට තවත් සම්පතක් ඉතිරි වන්නට තිබුණි.

නාඋල ශ්‍රි නාග ජාතික පාසලෙන් මූලික අධයාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අකුරුකළ නිර්මලා 2013 වසරේ උසස්පෙල විෂය ධාරාවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ දෙවැනි තැන හිමිකරගත්තා.

අයදුම්කළ ග්‍රාම නිළධාරී තරග විභාගයෙන් සමත්ව සිය ප්‍රදේශයේම ග්‍රාම නිළධාරීවරියක් ලෙස පත්වීම් ලබද්දී ‘‘මේක තවකෙනෙකුට දෙන්න මට කැම්පස් යන්න ආසයි ’’ යනුවෙන් පවසා ඇය මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වන්නේ 2015  වසරේ දෙසැම්බර් මාසයේදීයි.

වඩාත් නිහඬ බව ප්‍රියකල ඇය දුටුදුටුවන් වඩවඩාත් ආදර කළේ ඇගේ නිහතමානි කම හේතුවෙන් .

නාඋල ප්‍රදේශයේ දී ඇය ලගින්ම ඇසුරු කල මිතුරියක් අප සමග කිවේ නිර්මලා අනුන්ගේ සැපත අපේක්ෂාකල තරුණියක් බවයි.

2009 වසරේ දී සිය ආදරණිය පියා රිය අනතුරකින් මියයද්දි අම්මා සහ අයියා සමග ජීවන මගේ හිනිමන්පෙත් තරණයකළ නිර්මලා හෝ පවුලේ කිසිවෙකු හෝ හීනයකින්වත් නොසිතු අන්දමින් ජීවිතයෙන් සමුගන්නට සිදුවීම කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත.

ශ්‍රි නාග ජාතික පාසලේ ආදි සිසු දරු දැරින් නිර්මලාගේ නිවස වටා එල්ලා ඇති පුවරු මේ කරුණ සනාත කර තිබේ.

දිනෙන් දින ඇසෙන ඩෙංගු මරණ අභියස නිර්මලා ද සිය ජීවිතය කුඩා මදුරුවෙකුට පූජා කළේය.

විසඳුමක් පේන්නවත් නැති මාරාන්තික ඩෙංගු වසංගතය හෙට නිර්මලාලා දහස් ගනනක් බිලිගනු ඇත්දැයි කාටහෝ කිව නොහැකිය.

කුඩා කළ ඇලේ දොලේ කෙළිදෙලෙන් ගතකල ඇය සිදාදියේ සිට උපාධි සිහිනය දකින්නට පෙරුම් පිරු නිර්මලාගේ නිසල දේහය අභියස හඩා වැටෙන්නෝ බොහෝය.