Friday, October 18, 2024

General line - 0115112241

පළාත්පාලන ආයතනවල කොමසාරිස් පාලනය තවත් දීර්ඝ වෙයි




ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීම කිසිසේත්ම මැතිවරණය කල් දැමීමක් නොවන බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය පවසනවා. 

මෙලෙස ලබන ඔක්තෝබර් පළමු වනදා තෙක් මාස 03කින් දීර්ඝ කර ඇත්තේ ඉකුත් ජූලි පළමු වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සභිකයින්ගේ ධුර කාලය ආරම්භ වීමට නියමිත දිනය ද ඇතුළත් පළාත් පාලන ආයතනවල නියමයන් ක්‍රියාත්මක කිරීමේ ගැසට් නිවේදනයයි. 

පනතට අනුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර මාස 06ක් ඇතුළත මැතිවරණ කොමිසන් සභාව විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වනවා. 

එහෙත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් මෙම ගැසට් නිවේදනය බලාත්මක කිරීමට ද නොහැකි වුණා.
 
ඒ අනුවයි එය තවත් මාස 03කින් දීර්ඝ කර ඇත්තේ. 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ අනුව පාර්ලිමේන්තුවෙන් එය සම්මත වූ වහාම මැතිවරණය පැවැත්විය හැකියි. 

යම් හෙයකින් ඔක්තෝබර් මස පළමු වනදාට පෙර මැතිවරණය පැවැත්වුවහොත් එම දිනය ඇතුළත් වන පරිදි මෙම ගැසට් නිවේදනය යළි සංශෝධනය කර ප්‍රකාශයට පත් කළ හැකි බවයි පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය පවසන්නේ. 

ඒ අනුව දැනට කොමසාරිස් පාලනයේ පවතින පළාත් පාලන ආයතන තවත් මාස 03කට කොමසාරිස් පාලනයට යටත් වනු ඇති. 

ගැසට් නිවේදනයේ කාලය දීර්ඝ කිරීම සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නෙත් නිවුස් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් විමසීමක් කළා. 

පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට ඇති සූදානම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉකුත්දා අදහස් පළ කළා. 

මැතිවරණය කඩිනමින් පැවැත්වීම තම අරමුණ බව පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය ද වැඩිදුරටත් කියා සිටියා.