Sunday, September 22, 2024

General line - 0115112241

සයිටම් නඩුවට මැදිහත් නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් තීරණයක්




සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවට මැදිහත් නොවීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. 

ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවති රැස්වීමකදීයි. 

මීට අදාළව පවතින නීති තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නැයි ජනාධිපතිවරයා පළමුවෙන් අමාත්‍ය තිලක් මාරපනට යෝජනා කර තිබෙනවා. 

එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවට රජය මැදිහත් වීම අනවශ්‍ය බව හා එහි කටයුතු කරගෙන යාමට නීතිපතිවරයාටම ඉඩ ලබාදිය යුතු බවයි. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය මීට පෙර ප්‍රකාශ කළ ස්ථාවරය ඉදිරියේ දී තවදුරටත් විධිමත් කිරීමට ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ පැවති රැස්වීමේ දී තීරණය කර තිබෙනවා. 

කෙසේ වෙතත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී දරා ඇත්තේ වෙනත් ස්ථාවරයක්. 

ආණ්ඩුවට අගතියක් නොවන පරිදි ගැටළුව විසඳා ගත යුතු බවද ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

වැඩවර්ජනයක් කැඳවමින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. 

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර ඇත්තේ සයිටම් ආයතන ආරම්භ කර මේ වනවිට වසර පහකටත් වඩා වැඩි බවයි. 

එසේ තිබිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් මෙතරම් විරෝධයක් පල කිරීම පුදුම සහගත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. 

මෙම රැස්වීම පැය එක හමාරකටත් වැඩි කාලයක් තිස්සේ පැවති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ. 
ලක්ෂ්මන් කිරිඇල්ල, රාවුෆ් හකීම්, විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් මෙන්ම සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂ ද සිල්වා, කරුණාරත්න පරණවිතාන සහ එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ද මෙහිදී අදහස් දක්වා තිබෙනවා.