Monday, April 29, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රතිචාර මත "ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්" යළි රැස්වෙයි




රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සංදේශයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා සමග හෙට (06) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එහි දී මෙම විශේෂ සංදේශය ජනාධිපතිවරයාට භාර දෙනු ඇති.

එය සකස් කිරීම අද (05) දිනය තුළ අවසන් කිරීමට ද නියමිතයි. සංදේශය ජනාධිපතිවරයාට භාර දීමෙන් අනතුරුව එළඹෙන තීන්දු තීරණ මත ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් යළි රැස්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙම සියලු තීරණයන්ට එළඹුනේ මහනුවර අස්ගිරි මහා විහාරයේදී ඊයේ (04) පස්වරුවේ පැවැති විශේෂ රැස්වීමෙන් අනතුරුවයි. 

මෙම හමුවේදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියන් සඳහන් කළේ. 

සයිටම් ගැටළුව සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී තිබෙනවා. රෝගී ජනතාවට සිදුවෙන පීඩාව සම්බන්ධයෙන්ද ඉක්මන් තීරණයක් ගත යුතු බවටයි එහිදී තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බවටයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මෙහි දී ඒකමතිකව තීරණය කර ඇත්තේ.