දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් අතර මත ගැටුමක් හටගෙන ඇතැයි වාර්තා වෙනවා.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නිල කාලය ඉකුත් 30 වැනිදායින් අවසන් වූ අතර එහි කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සම්බන්ධයෙන් මෙම මත ගැටුම හටගෙන තිබූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පසුගිය කාලයේ ක්රියාත්මක වුවද මහා පරිමාණ දූෂණ චෝදනා එල්ල වූ පසුගිය ආණ්ඩුවේ සිටි පුද්ගලයින් සම්බන්ධයෙන් ක්රියාත්මක වී නැති බවට ඇමතිවරුන් කිහිපදෙනෙකු චෝදනා කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති තවත් ඇමතිවරුන් කිහිපදෙනෙකු ප්රකාශ කර ඇත්තේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණු පැමිණිලි රහස් පොලිසියට හා එෆ් සී අයි ඩී යට යොමු කර අදාළ ක්රියාමාර්ග ගෙන ඇති බවයි.
ඒ අනුව ඊට වගකිවයුතු අයට එරෙහිව නඩු පැවරීමට පියවර ගෙන ඇතැයිද මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා, මෙම කමිටු ලේකම් කාර්යාලය තමා සමග සිටින ඒ.එච්.එම්. ෆවුසි සහ ප්රියංකර ජයරත්න ආදී පිරිසකට එරෙහිව කටයුතු කිරීමට හැරෙන්නට දූෂණ වංචාවලට සම්බන්ධ අය සම්බන්ධයෙන් සැළකිය යුතු පියවරක් ගෙන නැති බව පවසා ඇති බවයි වාර්තා වෙන්නේ.