Monday, September 23, 2024

General line - 0115112241

"සංගක්කාරගේ අරමුණ මොකක්ද? - හිටපු ක්‍රීඩා ඇමති නොදනී"




2009 වසරේදී ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස කුමාර් සංගක්කාර ඉකුත් දා කළ ප‍්‍රකාශයට එවකට ක‍්‍රිඩා ඇමතිව සිටි ගාමිණි ලොකුගේ ප‍්‍රතිචාර දක්වා තිබෙනවා.

සංගක්කාර ඉකුත් දා ස්කයිප් තාක්ෂණය ඔස්සේ මෙරට මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ තමන් ඇතුළු කණ්ඩායම මරණ බියකින් එම සංචාරයට එක් වූ බවයි. 

2009 වසරේ ශ‍්‍රී ලංකා කී‍්‍රකට් කණ්ඩායම පාකිස්ථාන සංචාරයට එක් වන කාල සීමාවේ ගාමිණි ලොකුගේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, ක‍්‍රිකට් ආයතනයේ පරිපානලන කටයුතු සිදු කළේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුතු අතුරු කමිටුවක් මගින්.

සංගක්කාරගේ මෙම ප‍්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් එවකට ක‍්‍රීඩා ඇමතිව සිටි ගාමිණි ලොකුගේ නෙත් නිවුස් වෙත සඳහන් කළේ ක‍්‍රීඩකයන්ගේ එකඟතාව මත ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් පිළ 2009 වසරේදී  පාකිස්ථාන සංචාරයට එක් වූ බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්ෂිකව ක්‍රීඩා සැළසුමක් ඇති බවත් ඇතැම් විට විවිධ රටවල් සිදු කරන ඉල්ලීම් හේතුවෙන් මෙවැනි තරග සංවිධානය වෙන බවත් පැවසුවා. ඒ සියල්ල සිදු කරන්නේ ක්‍රීඩකයින්ගේ පූර්ණ කැමැත්ත මත බවද පෙන්වා දුන්නා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ මොහොතේදී ක්‍රියාත්මක වූයේ අතුරු පාලක කමිටුව බවත් එම අතුරු පාලක කමිටුව ක්‍රීඩකයින් සමග සාකච්ඡා කර මෙම තරගාවලියට එක් වූ බවයි.

එවකට අයි.පී.එල්. තරග සඳහා සහභාගී වීමට අතුරු පාලක කමිටුවේ සභාපතිවරයාව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා අවස්ථාව ලබා දුන්නේ නැති බවත් මතක් කර සිටියා.

තමන් ඊට  මැදිහත් වී මෙම ක‍්‍රීඩකයින්ට එම කාල සීමාවේදී අයි.පී.එල්. තරගාවලියට එක් වීමට අවස්ථාව සළසා දුන් බවද ගාමිණි ලොකුගේ හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේවෙතත් කුමාර සංගක්කාර මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ කුමක අරමුණකින්දැයි තමන් නොදන්නා බවයි හිටපු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.