Monday, September 23, 2024

General line - 0115112241

උමා ඔය ඛේදවාචකයෙන් පන්සල් 20 ක් ඉරිතලා විනාශ වී ගිය අයුරු




උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය නිසා බණ්ඩාරවෙල, ඇල්ල හා වැලිමඩ පුරාවිද්‍ය ස්මාරක හා ආගමික ස්ථාන 23 කට මේ වන විට හානි සිදුව ඇති බව හෙළි වී තිබෙනවා. 

බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වැනි කිසිඳු ආයතනයක් මේ පිළිබඳ අවධානය යොමු කර නොමැති බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් උමා ඔය සම්බන්ධයෙන් 2010 නොවැම්බර් මස සිදුකල පරිසර ඇගයීම් වාර්තාවේ පුරාවිද්‍යාව හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් සිදු කළ නිරීක්ෂණ සියල්ල මේ වන විට ප්‍ර‍ලාප බවට පත්වී ඇති බවද එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසන්නේ. 

බණ්ඩාරවෙල, වැලිමඩ, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි ආගමික හා පුරාවිද්‍යා ස්ථාන 21 ක් මේ වන විට පුපුරා යමින්, විනාශයට පත්වෙමින් ඇති බවත්  උමා ඔය පරිසර වාර්තාව සකස් කළ වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ප්‍ර‍ශාන්ත බන්දුල මණ්ඩාවල ඉහළ ඌවේ සංස්කෘතික විනාශය වසන් කිරීමට උත්සහ දරා ඇති බවටයි මින් චෝදනා කරන්නේ. 

පසුගිය දින 3 ක සිට අස්ගිරි විහාරයට අයත් බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය (මහ පන්සල) බුදු පිළිමය, පිළිම ගෙය හා සිතුවම් ද පිපිරීම් හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇති බවද සඳහන් කරනවා.

බදුල්ල ප්‍ර‍මුඛතව පුරාවිද්‍යා මධ්‍යස්ථායක් වන දෝව රජ මහා විහාරය, බුදු පිළිම, උමං, වලගම්බා ලිඳ, දිය උල්පත මේ වන විට සිඳී ගොස් ඇති බවත් පෙන්වා දෙනවා. 

බණ්ඩාරවෙල -බදුල්ල මාර්ගය දෝව පන්සල ඉදිරිපිට ස්ථාන දෙකකින් පුපුරා ගොස් ඇති අතර එළඹෙන ඊසාන දිග මෝසම් වැස්සෙන් දෝව ඓතිහාසික පන්සල හා පුරා වස්තු විනාශ විය හැකි බවටයි අනාවරණය කරන්නේ.

හානියට පත්ව ඇති බවට සිය සංවිධානය විසින් තහවුරු කොට ගෙන ඇති ස්ථාන පිළිබඳ වාර්තාවක්ද මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒවා පහතින් දැක්වෙයි,

වටගමුව විමලගිරි විහාරය
එගොඩගම සුමනාශ්‍ර‍මය
කුරුදුගොල්ල විදර්ශනාරාමය
මකුල්ඇල්ල පුරාණ විහාරය
හීල්ඔය පුරාණ විහාරය
කිරිඔරුව ආනන්දාරාමය
බණ්ඩාරවෙල පිරිවෙන 
බදුණුවැව පන්සල
පල්ලතොට ඇල්ල පන්සල
අම්පිටිය භික්ෂු ආරාමය
දික්කාපිටිය මැද පන්සල
දික්කාපිටිය පිරිවෙන
කුරුකුදේ පන්සල
දිගනතැන්න පන්සල

අස්ගිරි විහාරයට අයත් ඇත්තලපිටිය ඛෙත්තාරාමය, අමුණුදෝව රත්නායක මුදලින්දාරාමය, උළුගල රජ මහා විහාරය, දෝව පන්සල, බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරමය ද එක් වූ විට බෞද්ධ විහාර 20 ක් ද, එක් මුස්ලිම් දේවස්ථානයක් ද විනාශයට පත්වෙමින් ඇති ස්ථාන අතර වන බවද සඳහන් කරනවා.

ඉහළ ඌව සංස්කෘතික හා පුරාවිද්‍යා උරුමයන් රැක ගැනීම සඳහා බුද්ධශාසන අමාත්‍යාංශයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය වහා යොමු විය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.