Sunday, January 12, 2025

General line - 0115112241

මහින්දත් එක්ක හදන අලුත් ආණ්ඩුව ගැන නියෝජ්‍ය ඇමතිවරු තිදෙනෙක් අද කළ අනාවරණය




යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන බවට ඉකුත් දා මාධ්‍ය වාර්තා පළ කර තිබූ නියෝජ්‍ය අමාත්‍යවරු අතර සිටි තිදෙනෙකු අද (18) එකම මාධ්‍ය හමුවකට සහභාගි වුණා.

ඒ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකටයි.

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක සහ සුමේධා ජී ජයසේන මෙම මාධ්‍ය හමුවට සහභාගි වුණා. 

ඔවුන් මෙහි දී අවධාරණය කළේ ගිවිසුම් කාලය අවසන වනතුරු ආණ්ඩුවෙන් ඉවත් නොවන බවයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තුළ කිසි විටෙකත් කටයුතු කිරීමේ සූදානමක් නොමැති බවයි එහිදී කියා සිටියේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පක්ෂයේ බොහෝ පිරිස් තවමත් ආදරයෙන් සිටින බවත් නායකයින් දෙදෙනාගේම එකතුවෙන් අනාගතයේ දී නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහි කරන බවත් නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී ජයසේන මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළා. 

මෙම මාධ්‍ය හමුවට අමාත්‍ය මහින්ද සමරසිංහ ද එක්ව සිටියා. එහිදී ඔහු සඳහන් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද දැන් සිදු කළ යුත්තේ වෙනත් පක්ෂ හදනවා වෙනුවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සහයෝගය ලබාදීම බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමේ වාසිය එක්සත් ජාතික පක්ෂයට බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මෙහි දී වැඩිදුරටත් කියා සිටියා.