Saturday, January 11, 2025

General line - 0115112241

නවසීලන්තයට එරෙහි තුන්වන එක්දින තරගය ශ්‍රී ලංකාව ලකුණු 140කින් ජය ගනී




නවසීලන්ත කණ්ඩායම සමග පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගය ලකුණු 140කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. 

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 290ක්.      

පැතුම් නිස්සංක වේගවත් ලකුණු 66ක් රැස් කිරීමට සමත් වුණා. 

පන්දු 42කට මුහුණ දුන් පැතුම්ගේ ඉනිමට හයේ පහර 05ක් හා හතරේ පහර 06ක් ඇතුළත්. 

ඒ අනුව පැතුම් අද සිය 16වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 54ක් හා ජනිත් ලියනගේ ලකුණු 53ක් රැස් කිරීමට සමත් වුණා. 

කමිදු මෙන්ඩිස් ලකුණු 46ක් රැස් කළා. පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 55කට කඩුලු 04ක් දවාගත්තා. 

ජයග්‍රාහී ලකුණු 291ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 05 ලකුණු 21ක් තුළ බිඳ වැටුණා. 

ඒ අනුව පළමු කඩුල්ල ලකුණු 03ටත් දෙවන කඩුල්ල ලකුණු 04ටත් තුන්වන කඩුල්ල ලකුණු 20ටත් හතර සහ පස්වන කඩුලු නවසීලන්ත ලකුණු පුවරුව 21ක් ලෙස සටහන්ව තිබියදී දැවී ගියා. 

නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ මාර්ක් චැප්මන් ලකුණු 81ක් රැස්කලා. 

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 18 සීමාව පසුකර යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 03 බැගින් බිඳ හෙලුවා. සෙසු කඩුල්ල දවාගනු ලැබුවේ ජනිත් ලියනගේ විසින්.

තරගයේ වීරයා සම්මානය අසිත ප්‍රනාන්දු දිනාගත් අතර මැට් හෙන්රි එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා. 

දෙරට අතර පැවති තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගනු ලැබුවේ නවසීලන්ත කණ්ඩායමයි. 

දෙරට අතර පැවති පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද නවසීලන්තය ජයගනු ලැබුවා.