Monday, September 23, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කාගේ තර්ජන ගැන සොයන පොලිසියට තවත් තොරතුරු රැසක් හමුවෙයි




අංගොඩ ලොක්කා සහ ලඩියා නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයින් විසින් ඉන්දියාවේ සිට දුරකථනය ඔස්සේ මෙරට පොලිසියට කරන ලද තර්ජන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එක් පරික්ෂණයක් සිදු කරනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්. මුල්ලේරියාව පොලිසිය ද තවත් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් මෙලෙස තර්ජනය කර තිබුණේ මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාටයි. ඒ වැලිගොඩ දමන තම සාමාජිකයින්ට කරදර නොකරන ලෙසට තර්ජනය කරමින්. 

අංගොඩ ලොක්කා සහ ලඩියා නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයින් මේ වනවිට පසුවන්නේ ඉන්දියාවේ රක්ෂිත බන්ධනාගාර ගතවයි. ඔවුන් ඉකුත් මැයි 20 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

නීති කටයුතු අවසන් වීමෙන් පසු ජූනි 09 වැනි දා සිට මේ දක්වා ඔවුන් චෙන්නායි නුවර රැඳවුම් කඳවුරක රඳවා සිටිනවා.

එහි සිට පෙරේදා සවස ඔවුන් දෙදෙනා දුරකථනය ඔස්සේ මෙලෙස පොලිසියට තර්ජනය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී  අනාවරණය වී ඇත්තේ. 

අංගොඩ උඩුමුල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක කප්පම් ඉල්ලීමේ සිද්ධියක් ද ඉකුත්දා වාර්තා වුණා. එම සිද්ධියට සහ මෙම පොලිසියට තර්ජනය කිරීම සදහා ඇමතුම් ලබාගෙන ඇත්තේ එකම දුරකතන අංකයකින් බව ද  හෙළි වී තිබෙනවා. 
 

පාතාල කල්ලි නායක සමයං ඇතුලු 07 දෙනෙකු කළුතරදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලෙස මේ වන විට හඳුනාගෙන ඇත්තේ අංගොඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයායි.

කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීම සිදු වූ දිනයේදීම හෝ ඊට ආසන්න දිනකදී සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයෙන් බෝට්ටුවක් මගින් ඉන්දියාවට පළා ගොස් ඇති බවටද මීට පෙර තොරතුරු අනාවරණය කර ගැනුණා.