උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උත්සන්න වෙමින් තිබෙන මත ගැටුම් හේතුවෙන් කිසියම් හදිසි තත්වයක් ඇති වුවහොත් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් වහාම ඉවත් කර ගැනීමට සැලසුම් සකස් කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
නිල සංඛ්‍යා ලේඛනවලට අනුව දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගණන තිස් දහසකට වැඩියි.
ඔවුන් ජීවත් වන ප්‍රදේශ පිළිබඳව ද මේ වන විට අධ්‍යනය කර සිය සැලසුම් සකස් කර තිබෙන බවද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.
මේ අතර උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උත්සන්න වෙමින් තිබෙන මත ගැටුම් පිළිබඳ ලොව සෙසු රටවල් බොහෝමයක් ද සිටින්නේ දැඩි විමසිල්ලකින්.
මත ගැටුම්වලට සාමකාමී විසඳුමක් අත්‍යවශ්‍ය බවයි චීන ජනාධිපති ෂී ජින් පින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබෙන්නේ.
මෙම මත ගැටුම් සමනය කිරීම සඳහා චීන - රුසියානු ඒකාබද්ධ මැදිහත්වීමක් සිදු කිරීමට අවධානය යොමුව තිබෙන බවයි රුසියනු විදේශ අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ.
උතුරු කොරියාව සහ අමෙරිකාව අතර උත්සන්න වෙමින් තිබෙන මත ගැටුම්වලට හමුදාමය විසඳුමක් නොමැති බව ජර්මනිය ද ප්‍රකාශ කර තිබෙනවා.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත අවධාරණය කරන්නේ කුපිත කරවන සුළු වචන සහ හැසිරීම්වලින් උතුරු කොරියාව ඉවත් විය යුතු බවයි. එසේ නොකළහොත් අමෙරිකාවේ විනාශකාරී කෝපාකාරී ගින්නෙන් උතුරු කොරියාව දැවී අලුවනු ඇතැයිද අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.