Wednesday, September 25, 2024

General line - 0115112241

මීගමුවේදී STF ඇල්ලුවේ එසේමෙසේ සැකකරුවන් නෙමේ




මීගමුව, කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පිරිස් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් හා සබඳතා පවත්වා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ බව කියන 41 හැවිරිදි වජිර කුමාර නමැත්තා ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන මදූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

ඔහුට එරෙහිව මිනිමැරුම් සිද්ධි දෙකක් සම්බන්ධයෙන්ද චෝදනා පවතිනවා. වත්තල, කෙරවළපිටියේදී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම සහ මාතරදී සිදුකළ ඝාතනයක් සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ.

2015 වසරේදී හංවැල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් ලක්ෂ 26ක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද මෙම වජිර කුමාර  නමැත්තායි.

කුරණ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ ඔහු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙහිදී තුවාල ලැබූ චම්පික කුමාර නමැත්තා මේ වසරේ මැයි මාසය තුළ පමණක් කොල්ලකෑම් 8 කට සම්බන්ධ වී ඇති බවයි මූලික පරීක්ෂණණවලදි අනාවරණය වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ බව කියන ජනක අනුර ශාන්ත නමැත්තා නීතිවිරෝධීව පුද්ගලයින්  ඕස්ට්‍රේලියාවට යැවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට පත්වූ අයෙක්.         

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (13) දිනයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එළඹෙන 18 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා.