Wednesday, September 25, 2024

General line - 0115112241

රථ වාහන වැරදි සඳහා විසිපන්දහසේ දඩය ක්‍රියාත්මක වෙන දිනය ගැන කියයි




රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පැනවූ රුපියල් විසිපන් දහසේ දඩය ක්‍රියාත්මක වන දිනය පිළිබඳ හෙට (15) දිනයේ තීරණයක් ගැනීමට නියමිතයි.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවසුවේ කඩිනමින් මෙම දඩය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්.

රථ වාහන වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ දඩය රුපියල් විසිපන් දහසක් දක්වා වැඩි කිරීමට ගත් තීරණය පිළිබඳ විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා.

බස් සංගම්, ත්‍රීරෝද රථ සංගම් හා යතුරුපැදිකරුවන්ගේ සංගම් ද ඒ අතරින් කිහිපයක්.

වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම, එවැනි බලපත්‍රයක් නොමැති අයෙකු රිය ධාවනය සඳහා සේවයේ යෙදවීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය, දුම්රිය මාර්ගවලට අපරික්ෂාකාරීව වාහන ඇතුළු කිරීම සහ වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය එම දඩයට යටත් වැරදි වනවා.

වමෙන් ඉස්සර කිරීම සහ ජංගම දුරකතන භාවිත කරමින් රිය ධාවනය යන වැරදි සඳහා යෝජිත දඩය රුපියල් 2,000ක්. නොසැලකිලිමත්ව රිය ධාවනය සඳහා දඩය රුපියල 10,000 දක්වා වැඩි කිරීමට ද නියමිතයි.  

නියමිත වයසට අඩු තැනැත්තන් රිය පැදවීම සඳහා වන අවම දඩය රුපියල් 5,000 සිට 30,000 දක්වා වැඩි කරනු ඇති.

අදාළ දඬුවම, පනතේ ප්‍රකාශිතව දක්වා නොමැති වැරදි සඳහා අවම දඩය රුපියල් 2,500 දක්වා වැඩි කිරීමටයි යෝජනා වී ඇත්තේ.