Wednesday, September 25, 2024

General line - 0115112241

උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගැටලුව පොලිස්පතිට




මෙවර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්පත‍්‍රිකාවක් බෙදා හැරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

ඒ විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර විසින්. 

ඔහු කියා සිටියේ මුද්‍රණය කළ අත්පත‍්‍රිකාවේ සඳහන් ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න පත‍්‍රයේ සඳහන් ප‍්‍රශ්න අතර සම්බන්ධයක් ඇත්දැයි පරීක්ෂණයක් සිදු කරන බවයි. 

ඊයේ (19) පැවති රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ දෙවන කොටසේ ප‍්‍රශ්න කිහිපයක් තම සම්මන්ත‍්‍රණයක දී සාකච්ඡා කළ බව පවසමිනුයි මෙම උපකාරක පන්ති ගුරුවරයා අදාළ අත්පත‍්‍රිකාව බෙදා හැර ඇත්තේ. 

ඒ, ගම්පහ ප‍්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිටයි. එහි සඳහන්ව තිබුණේ ‘‘මේ මොහොතේ ඔබ මුහුණ දුන් ප‍්‍රශ්න පත‍්‍රය හා අප විසින් අවසන් සම්මන්ත‍්‍රණයේ දී ලබා දුන් ප‍්‍රශ්න පත‍්‍රය සංසන්දනය කර බලන ලෙසයි’’. 

පෙරවරු 11.30ට රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රය අවසන් වී විනාඩි 05කට පමණ පසු ලබා දුන් අත්පත‍්‍රිකාවේ සඳහන්ව තිබූ ප‍්‍රශ්න හා විභාග ප‍්‍රශ්න අතර සමානකමක් දැකිය හැකි බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. 

 

(බෙදා දී තිබූ බව කියන අත්පත්‍රිකාව)