Wednesday, September 25, 2024

General line - 0115112241

පක්ෂ තීරණයට පිටින් ගිය උතුරු පළාත් සභා ඇමතිට වැඩ වරදියි




පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට පක්ෂය තීරණය කළ බව ටෙලෝ පක්ෂ ලේකම් එස්.ශ‍්‍රීකාන්ත පවසනවා.

වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (20) රාත‍්‍රියේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.ශ්‍රීකාන්ත එලෙස පැවසුවා.

පක්ෂ ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ පක්ෂයේ තීරණයට පිටුපා ඩෙනිශ්වරන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ බවයි.

ඉදිරියේදී ඩෙනිශ්වරන් වෙත විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණය ගන්නා තෙක් තාවකාලිකව පළාත් අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවද හෙතෙම පැවසුවා.

ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමග ඩෙනිශ්වරන් සතුව පැවති ටෙලෝ පක්ෂයේ අමාත්‍යධූරය ඔහුට අහිමිවන අතර,ඩෙනිශ්වරන්ගෙන් පුරප්පාඩු වන තනතුර වෙනුවෙන් ටෙලෝ පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රී වින්දන් කනගරත්නම්  පත් කිරීමට නියමිත බවද පක්ෂ සාමාජිකයින් පිරිසක් සඳහන් කළා.

සාකච්ජාව වෙනුවෙන් පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, පක්ෂයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම්, වින්දන් කනගරත්නම්, එස්.ගුණසීලන් ඇතුලු පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකයින් සහභාගි වී සිටියා.