Wednesday, September 25, 2024

General line - 0115112241

"රාජ්‍ය නිලධාරීන් නිසා පනත හිරවෙලා"




විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ප‍්‍රමාද වන්නේ රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් විවිධ ගැටළු මතු කිරීම හේතුවෙන් බව ආණ්ඩුව පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ ගැටළුව කඩිනමින් විසඳීම සඳහා පියවර ගන්නා බවයි. 

2015 වසරේ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දින සියයේ වැඩසටහන යටතේ එම වසරේ අපේ‍්‍රල් මස 19 වැනිදා ජාතික විගණන පනත ඉදිරිපත් කරන බවටයි ප‍්‍රකාශ කර තිබුණේ.

එහෙත් නව විගණන පනත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම අවස්ථා ගණනාවකදීම කල් ගියා. මෙලෙස විගණන පනත කල් යන්නේ ඇයිදැයි නෙත් නිවුස් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළා.

එහිදී ඔහු සඳහන් කළේ "විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් මතුකරන කරන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න සිදු වෙලා තියෙනවා. කොහොම වුණත් ඉදිරි සති කිහිපය තුළ ප්‍රශ්නයට විසඳුම් ලැබේ යැයි විශ්වාස කරනවා." යනුවෙනි.

විගණන පනත කල්යාම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා එල්ල වුණා. විගණකාධිපති ගාමිණී විජේසිංහ ඉකුත්දා සඳහන් කළේ විගණන දෙපාර්තමේන්තුව මේ වනවිට දැඩි ගැටළුවකට මුහුණපා සිටින බවයි.

එහිදී ඔහු සඳහන් කළේ "විගණකාධිපති දෙපාර්තමේන්තුව තිබුණ විදිහට තිබුණනම් මේ වැඩටික කරගෙන යන්න තිබ්බා.. 19 වැනි සංශෝධනයෙන් සම්පූර්ණයෙන්ම මේක වෙනස් කළා. දැන් එහාටත් නෑ...මෙහාටත් නෑ..." යනුවෙනි.  

ජාතික විගණන පනය යටතේ පැවරීමට යෝජිත විගණකාධිපති බලතල සීමා කිරීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් සැලසුම් කරන බවට වාර්තා පළ වී ඇති බවයි ට‍්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය ඉකුත්දා කියා සිටියේ.