Wednesday, September 25, 2024

General line - 0115112241

රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළේ විභාගය අතරයි - පිටකළ හැටි මෙතැනින් කියවන්න




ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු යැයි පැවසූ පුද්ගලයකු විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවේ අඩංගු මෙවර රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයට ඇතුළත් ප්‍රශ්න කිහිපයක් පිට කර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව පැහැදිලිවන අතර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර  පවසන්නේ විභාගයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති කරගත යුතු නැති බවයි.

විභාගය පැවැත්වුණු දින උදෑසන විභාගය ආරම්භ වූ පසු විභාග ශාලාවේ සිටි පුද්ගලයෙකු හරහා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

මේ වන විට සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් අනතුරුව  සැලසුම් සහගතව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් සකස් කරගත් අදාළ ප්‍රශ්න ද ඇතුළත් අත් පත්‍රිකාව  විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම මුද්‍රණය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල උපකාරක පන්ති ගුරුවරයෙකු බව පැවසූ පුද්ගලයාගේ පියා සහ සොයුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද අභ්‍යන්තර පරීක්ෂණක් ආරම්භ කර තිබෙනවා.