Wednesday, September 25, 2024

General line - 0115112241

කතරගම දේවාලය ගැන විමර්ශනයක් කරන්න - බෞද්ධ කටයුතු කොමසාරිස්ට නියෝග (UPDATE)




රුහුණු කතරගම මහ දේවාලයේ අද (22) අලුයම ඇති වූ නොසන්සුන්කාරී තත්වය සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රපේ‍්‍රම ගමගේ කළ නියෝගයකට අනුවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට අද උදෑසන නියෝග කර තිබෙනවා. 

ඒ අනුව අදාළ විමර්ශනය සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් කමිටුවක් ද පත් කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඓතිහාසික රුහුණු කතගරම මහ දේවාලයේ අද උදෑසන නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. 

සම්ප‍්‍රදායිකව සිදු කරන අලුයම දේව පූජාවට ද මේ නිසා බාධා එල්ල වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

බස්නායක නිලමෙවරයා දේවාලයේ යතුරු තමන් භාරයේ තබා ගැනීමෙන් මෙම ගැටළුකාරී තත්ත්වය මතු වූ බවයි දේවාලයේ කපු මහතෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

මේ පිළිබඳ විමසීමට කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී.පී කුමාරගේ සම්බන්ධ කර ගැනීමට නෙත් නිවුස් අවස්ථා කිහිපයක දී උත්සහ දැරුව ද ඔහු දුරකතනයට ප‍්‍රතිචාර නොදැක්වීම නිසා එය ව්‍යර්ත වුණා. 

කතරගම දේවාලයේ අලුයම පූජාව නොපැවැත්වීම නිසා බැතිමතුන් ද නොසන්සුන්කාරී ලෙස හැසුරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

ඔවුන් බස්නායක නිලමේවරායට පහර දීමට ද උත්සහ දැරූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 

---------------------------------

කතරගම දේවාලයේ සන්සුන් තත්ත්වයක් - බැතිමතුන්ට යළි විවෘතයි (22-08-2017 /08:12)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලය මතුව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට අවසන් වී තිබෙනවා. 

මේ වන විට දේවාලය බැතිමතුන් සඳහා යළි විවෘත කර තිබෙනවා.

-----------------------------------

කතරගම දේවාලයේ නොසන්සුන් තත්ත්වයක් - අලුයම පූජාවටත් බාධා (22-08-2017 / 06:17)

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අද (22) අලුයම සිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු කේ.ඩී දේවප‍්‍රීය පැවසුවේ මේ නිසා සාම්ප‍්‍රදායිකව පැවැත්වෙන අලුයම පූජාවට ද බාධා සිදු වූ බවයි. 

දේවාලයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්වූවා. 

ඔහු කියා සිටියේ, දේවාලයේ ප්‍රධාන කපුමහතා දේවාලය විවෘත කිරීමට යන අවස්ථාවේ දී බස්නායක නිළමේවරයා විසින් දේවාලයේ යතුර පැහැරගෙන තිබෙන බවයි. මේ වන විට දේවලය වසාදමා තිබෙන බවත් ඔහු කියා සිටියා. 

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් ද පැමිණ සිටිනවා.