Sunday, December 29, 2024

General line - 0115112241

කඩාවැටුණු අහංගම ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරයි - අනතුරේ ඇත්ත කතාව මෙන්න (PHOTOS) (VIDEO) - (UPDATE)




අහංගම - පැලැස්ස ප්‍රදේශයේ දී අද (18) පෙරවරුවේ කඩාවැටුණු ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. 

එම සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරී ඊ.ආර්. බන්දුල පැවසුවේ 2015 වසරේදී හබරාදුව ප්‍රාදේශීය සභාවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගෙන ඇත්තේ මහල් 3කට පමණක් බවයි. 

නමුත් මෑතකදී එහි තවත් මහල් 2ක් අනුමැතියකින් තොරව ඉදිකිරීම ආරම්භ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

ප්‍රාදේශීය සභාව විසින් අනුමැතිය ලබාදී ඇති නිර්දේශ නොතකා ඊට තවත් ගොඩනැගිල්ලක් එක්කිරිම අනවසර ඉදිකිරීමක් ලෙස සැළකෙන බවද ඊ.ආර්. බන්දුල නෙත් නිවුස් වෙත කියා සිටියා.

නිර්දේශ නොතකා ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා ගොඩනැගිල්ල කඩාවැටී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

අහංගම, පැලැස්ස ප්‍රදේශයේ පිහිටි මෙම ගොඩනැගිල්ල විදේශිකයකුට අයත් වූවක් බව පැවසෙනවා. 

ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පුද්ගලයන් 5 දෙනකු පමණ තුවාල ලැබූ අතර තවත් පුද්ගලයෙක් සුන්බුන් අතර සිරවී සිටියදී මුදා ගැණුනා. තුවාලකරුවන් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

ඡායාරූප - නිමල් අල්ගෙවත්ත - හබරාදුව

සුන්බුන් අතර සිර වී සිටි අයෙක් බේරා ගැනේ (PHOTOS) (VIDEO) (18-09-2017 12:40)

අහංගම නගරයේ අද (18) පෙරවරුවේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයෙකු මීට සුඵ වේලාවකට පෙර ගලවා ගෙන තිබෙනවා. 

ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යට වූ පිරිස් තවත් සිටීදැයි සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

 

---------------------------

අහංගම දී ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම්

(18-09-2017 10:45)

අහංගම නගරයේ පෑලැස්ස ප්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක් කඩා වැටී තිබෙනවා.

ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකුට තුවාල සිදු වී ඇති බවයි මේ වන විට වාර්තා වෙන්නේ.

තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති බවට විශ්වාස කෙරෙන අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

මෙය ඉදිකරමින් පැවැති මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

මීට පෙර මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටී තිබුණා. මීගමුවේ හෝටලයක සඳහා ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලක් මෙලෙස කඩා වැටී තිබුණා.

මීට මාස කිහිපයකට පෙර වැල්ලවත්ත ප්‍රදේශයේද ගොඩනැගිල්ලක් කඩා වැටුණා. එම ගොඩනැගිල්ලද උත්සව ශාලාවක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වූ අතර ඒ වන විටත් අලුත් වැඩියා සිදුවෙමින් පැවතීමද විශේෂත්වයක්.