Saturday, July 27, 2024

General line - 0115112241

නවීන පහසුකම් ඇති බන්ධනාගාරය 16 වැනිදා විවෘත වෙයි - රැඳවියන් ගෙනඒම ප්‍රමාද කරයි




අගුණකොලපැලැස්ස බන්ධනාගාරය ලබන 16 වැනිදා විවෘත කිරීමට බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප‍්‍රධානත්වයෙන්.

අක්කර 40කට වැඩි භූමි ප‍්‍රදේශයක ඉදිකර ඇති අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකිරීම් අවසන් කෙරුණේ ඉකුත් ජනවාරී මාසයේදීයි.

ඉකුත් මාර්තු මාසයේ දී බන්ධනාගාරය විවෘත කිරීමට නියමිතව තිබුණ ද ජනාධිපතිවරයා සහභාගී නොවීම හේතුවෙන් එය කල් දැමුණා. 

නවීන පහසුකම්වලින් සමන්විත අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 1200ක්. 500ක පමණ බන්ධනාගාර කාර්ය මණ්ඩලයකට ද එහි පහසුකම් පවතින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ලබන 16 වැනිදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරය විවෘත කළද රැඳවියන් එහි රැඳවීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියා සිටියා.