Tuesday, May 14, 2024

General line - 0115112241

තංගල්ලේදී රුසියානු තරුණිය දූෂණය කිරීමේ සිද්ධියටත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහගේ නම කියවෙයි




යාපනය විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් රාජකාරී නිසි ලෙස ඉටු නොකළ බවට චෝදනාවට ලක්ව සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් රාජකාරී ඉටු නොකළ බවට චෝදනා එල්ල වනවා.

2011 වසරේ තංගල්ල ප‍්‍රදේශයේ හෝටලයක දී බි‍්‍රතාන්‍ය ජාතික කුරාම් ශෙයික් ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ නිසි පරිදි ක‍්‍රියාත්මක නොකළ බවට ඔහුට චෝදනා  එල්ල වී තිබෙනවා.

තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණට පක්ෂපාතී අයුරින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

2013 වසරේ දී දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරී නිහාල් පෙරේරා ඝාතනය කිරීමේ සිද්ධියේ පරීක්ෂණ නිසි පරිදි සිදු නොකිරීම ඔහුට චෝදනා එල්ල වන තවත් සිද්ධියක්. 

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ දැරණියගල ප‍්‍රදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික හෙවත් අතකොටා නමැත්තාට පක්ෂපාතී ලෙස කටයුතු කළ බවටයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ අතකොටා ඇතුළු 18 දෙනෙකුට අවිස්සාවේල්ල මහාධිකරය මරණ දඬුවම නියම කළා.