Thursday, January 9, 2025

General line - 0115112241

නව ව්‍යවස්ථා කෙටුම්පත හදද්දි සියළු මතවලට අවස්ථාව ලැබෙනවා! අගමැති සාක් කලාපයේ කතානායකවරුන්ට කියයි




නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ මත නියෝජනය වන ආකාරයේ සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. සාර්ක් කලාපීය කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ  8 වැනි සැසිවාරය අමතමිනුයි අගමැතිවරයා මේ බව කියාසිටියේ. 

" නව ව්‍යවස්ථාවක් සැකසීමේදී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ක‍්‍රමවේදය තමයි තේරීම් කාරක සභාවක් මගින් එම කටයුතු සිදුකිරීම. නමුත් අපි මෙහිදී අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ තමයි නව ව්‍යවස්ථාවකට අවශ්‍ය යෝ්ජනා පිළිබඳ මුලින් ජනතාවගෙන්, විද්වතුන් ආදි සියලූ පාර්ශ්වවලින් අදහස් විමසීම. ඉන්පසුව පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන් සියලූ දේශපාලන පක්ෂවල මත ඉදිරිපත් කෙරෙන ආකාරයට ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කි‍්‍රයාවලියක් සකස් කිරීම. මේ සියලූම අදහස් විමසා අතුරු වාර්තාවක් සකස් කරලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අතුරු වාර්තාව අවසන් වාර්තාව නොවෙයි. එහි අන්තර්ගතය හා තවත් යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී මත විමසීම් මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් පවත්වන්න කටයුතු කරනවා. සියලූම පාර්ශ්වවල දායකත්වයෙන් සහ එකඟත්වයෙන් තමයි අවසානයේ නව ව්‍යවස්ථාව සකස්වෙන්නේ." 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භය ප‍්‍රකාශයට පත්කරමින් අද (04) පෙරවරුවේ ආරම්භ වූ මෙම සමුළුවට සාර්ක් රටවල් නියෝජනය කරමින් කතානායකවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියා. 8වැනි සමුළුව වෙනුවෙන් සැමරුම් මුද්දරයක් ද මෙහිදී නිකුත් කරනු ලැබුවා. සමුළුව හෙට සහ අනිද්දා දිනයන්හිදීත් පැවැත්වීමට නියමිතයි. 

මීට සමගාමීව සාර්ක් රාජ්‍යවල කාන්තා පාර්ලිමේන්තුවරින්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි. ‘දරිද්‍රතාවයෙන් මිදී තම ප‍්‍රජාව සඳහා වඩා යහපත් අනාගතයක් ගොඩනැංවීමට කාන්තාවන්ට සහාය වෙමු’  යන්න මෙවර එහි තේමාව වනවා.

මීට සමගාමීව තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වෙනවා. සාර්ක් ධජය යටතේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමක් මෙලෙස පැවැත්වෙන්නේ ප‍්‍රථම වතාවට වීම  විශේෂත්වයක්. ‘ත‍්‍රස්තවාදය වැලැක්වීම සඳහා තරුණයන් අතර ප‍්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම හා මිනිස් ජාවරම, නවීන වහල්භාවය සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට එරෙහිව සටන් වැදීමට තරුණයන් සවිබල ගැන්වීම’ යන්න එහි  තේමාවයි.