Thursday, January 9, 2025

General line - 0115112241

වැරදුන හදවත් සැත්කම ගැන විශේෂ පරීක්ෂණයක්! වරදකරුවන්ට දෙන දඬුවම ඇමති කියයි!




මහනුවර ශික්‍ෂණ රෝහලේදී ඉකුත්දා සිදු කෙරුණු හදවත් බද්ද සැත්කම අසාර්ථකවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහිදී කිසියම් අයෙකු වරදකරුවෙකු බව අනාවරණ වුවහොත් දැඩි දඩුවම් ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

මෙය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා."කඩාකප්පල් ක්‍රියාවක් නෙවෙයි. සැත්කම හොඳින් කෙරුන. විෂ බීජයක් ඇතුළුවීම කියලයි අපි සැක කරන්නේ. සැත්කමෙන් පසුව ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් නිසි සැලකිල්ල ලැබිල නැහැ. මේක වෛද්‍යමය ක්‍රියාදාමයේ නොසැලකිල්ලක් මිසක් කඩාකප්පල් ක්‍රියාවක් නම් නෙවෙයි"

මෙම සැත්කමට ලක් කෙරුණේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නමැත්තියක්. සැත්කම සිදුකර දින 4 කට පසු ඇය ජීවිතක්‍ෂයට පත් වුණා. කෙසේවෙතත් ඇගේ පියා සදහන් කළේ තම දියණියගේ මරණය සැක සහිත බවයි. ඒ අනුව රෝහල් බලධාරීන් විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. 

මීට පෙර මහනුවර ශික්‍ෂණ රෝහලේ සිදුකළ පළමු හදවත් බද්ද සැත්කම සාර්ථකව සිදු කෙරුණා. ඒ, මීට මාස දෙකකට පමණ පෙරයි.